ලොකු පිම්මක් පැනලා රිචඩ් ආයෙත් රංගනයට

  👤  2305 readers have read this article !
Published by : MB WEB 2017-01-06 12:10:19

පහුගිය කාලේ අසනීපෙන් හිටියලු නේද?

ඔව්. ඇත්තටම මේක මගේ ජීවිතේ මුහුණදුන්න එක් පිම්මක් කිව්වොත් හරියටම හරි. මේ වෙනකොට පිමි කිහිපයක් පැනලා තමයි මේ බේරිලා ඉන්නේ. පහුගිය ඔක්තෝබර් මාසේ මට හාට් ඇටෑක් එකක් ආවා. දෙවියන් වහන්සේට ඉදිරියටත් මගේ ජීවිතය ඕන වුණ නිසා මගේ ජීවිතය බේරුණා.

මීට කලිනුත් ඔබ අසනීප වුණා නේද?

ඔව්. 2003දිත් මට හාට් ඇටෑක් එකක් ආවා. මම මැරුණා කියලා හිතලා ක්ෂේත්‍රයේ අය අවසන් කටයුතු පවා සංවිධානය කළා. මොකද මම සතියක් විතර සිහිය නැතිව හිටියා. හාට් ඇටෑක් ආපු දෙවැනි වතාව මේක.

අසනීප වුණේ වැඩිපුර මහන්සි වෙන නිසා වෙන්න ඇතිද?

ඔව්. ඒ කාලේ ටිකක් මහන්සි වුණත් වැඩියි. කාලගෝල චරිතයත් එක්ක රට වටේම ගියා. අවසන් දර්ශනය තිබුණේ දෙහිඅත්තකණ්ඩියේ. ඇඟට අපහසුවක් දැනුණත් කාටවත් නොකියම ෂෝ එකේ වැඩ ඉවර කළා. වැඩ කරලා ගෙදර ආවේ පාන්දර. ඇඟට අපහසු නිසා මම රෝහල්ගත වුණා. ජාතික රෝහලේදී මාව සැත්කමකටත් භාජනය කළා.

රෝහල්ගත වෙලා ඉද්දි කලාකරුවෙක් විදියට ඔබට ලැබුණු සහයෝගය කොයි වගේද?

මට තිබුණු ජනප්‍රසාදය ඒ මොහොතේ මට හොඳටම දැනුණා. මගේ වෛද්‍යවරයා ගාමිණී ගලප්පත්ති. එතුමා ඇතුළු වෛද්‍යවරු සහ හෙද කාර්යමණ්ඩලය මට දක්වපු සහාය ඇත්තටම ප්‍රශංසනීයයි.

අසනීපෙන් හිටපු නිසා වැඩ ගොඩක් මඟඇරෙන්න ඇති?

ඔව්. වැඩ ටිකක් මඟ නතර වුණා. මෙඩිසිනා නාට්‍යයේ මගේ වැඩ නතර වුණේ අසනීපය නිසා තමයි.

දැන්මම අලුත් වැඩ පටන්ගන්නේ නැද්ද?

වැඩ පටන් ගන්න ඕන. පසුගිය ටිකේ විවේක සුවයෙන් ගෙදරට වෙලා හිටියා. මේ අවුරුද්දේ ඉඳන් ආයෙත් වැඩ පටන් ගන්නවා.

වේදිකාවේ, පුංචි තිරයේ, රිදී තිරයේ ඔබට තිබ්බ ඉඩ ආයෙම ලැබෙයිද?

මේ මාසයේ ඉඳන් මගේ නාට්‍ය ටිකේ වැඩ ටික කරගෙන යනවා. සෝමපාල ගුණධීර මහත්මයගේ නාරි වේදිකා නාට්‍යය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම සරත් ධර්මසිරි මහත්මයගේ ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න ඉන්නවා.

ඔබ කොහොමත් පුංචි තිරයේ වැඩවල දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?

මේ දිනවල සුදත් දේවප්‍රියගේ "දියමංකඩ" ටෙලි නාට්‍යයේ කරන චරිතෙන් ප්‍රේක්ෂකයන්ට මාව හමුවෙනවා. ඇත්තටම කියනවා නම් නිර්මාණවලට වැඩි දායකත්වයක් නොලැබෙන්න එක හේතුවක් තමයි අඩු මුදලට සමස්ත කර්මාන්තයම විකිණෙන එක. ඒක ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් මුහුණදෙන ලොකු ගැටලුවක්.

ශිල්පීන්ට නිසි ගෙවීම් කරන්නෙ නෑ කියනවා. ඔබට මෙවැනි දේවලට මුහුණදෙන්න වෙලා තියෙනවද?

ක්ෂේත්‍රයේ පවතින ක්‍රමය අනුව නළු නිළියෝ විතරක් නෙමෙයි නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් පවා අසරණ වෙලයි ඉන්නේ. අඩු ලංසුවට හැම දේම තීරණය වන රටාවක් තමයි තියෙන්නෙ. ප්‍රමිතිය මොනවා වුණත් සමස්ත කර්මාන්තයම අඩු ලංසුවට තීරණය වෙන්න අරන්. මාත් එක්ක වැඩ කරන අය දන්නවා මං ඉන්න ස්ථාවරය. හදාගත්ත වෘත්තීය මට්ටම මම කවදාවත් අඩු මුදලට බාල්දු කරන්නෙ නෑ.

ඇතැම් චරිත නිරූපණය කළාම ඒ ශිල්පීන් අදාළ චරිතවලටම කොටුවෙනවා. ඔබත් ඒ කොටුවීම්වලට අහුවෙන්න ඇති නේද?

ඔව්. මේක ක්ෂේත්‍රයේ බොහෝදෙනාට පොදු කරුණක්. මාව බොහෝ වෙලාවට ගැමි නෝංජල් මිනිහගෙ චරිතෙට තමයි වැඩිපුර තෝරගත්තෙ. අසනිවැසිවල "සීටියා', සඳගලතැන්නේ 'පුංචිරාළ', රිදී ඉට්ටක්කරයේ 'මුදලිහාමි' වගේ ගැමි චරිත තුළින් එක රාමුවකට කොටු නොවී මම විවිධ දේවල් කළා. අධ්‍යක්ෂවරු දන්නවා මගෙන් ඒ චරිතය අවශ්‍ය විදියට කරගන්න පුළුවන් කියන එක. මම එක දිගට ගැමි චරිත කළත් ඒ තුළින් වෙනස් හැඩතල මතු කරනවා. නැත්නම් මාව මිනිස්සුන්ට හැමදාම එකම විදියටයි පෙනෙන්නේ.

සිනමාවේ අලුත් වැඩ භාරගත්තේ නැද්ද?

'නිදහසේ පියා' සමඟ මේ අවුරුද්දෙදි රංගන කටයුතු අරඹනවා. 'රන් දෝණි' චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවරයි. ඉදිරියේදී තිරගත වෙන්නයි තියෙන්නේ. ' භව තරණ' චිත්‍රපටයත් 'සූවිසි විවරණ' චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

හර්ෂනී අර්සකුලරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්