අම්ලාගේ සීයේ පාටියට ලංකාව අද සූදානම්ද?

  👤  1531 readers have read this article !
Published by : MB WEB 2017-01-12 14:19:03

සිරිනාම රාජපක්ෂ

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග තුනකින් යුත් තරගාවලියේ මෙතෙක් පැවැති තරග දෙකම පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා පිලට අද (12දා) ජොහැනස්බර්ග්හි වොන්ඩරර්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය කාරණා කිහිපයක් නිසාම පෙර තරග දෙකටත් වඩා අසීරු තත්ත්වයක් මතු විය හැකිය. එනම් පෙර තරග දෙක පැවැති පෝර්ට්එළිසබත් හා කේප් ටවුන් ක්‍රීඩාංගණ තණ තීරුවලට සාපේක්ෂව වඩාත් ඉපිලීම හා දෝලනය මුසුවූ වේගවත් තණතීරුවක් අද තරගයට ලැබීම ඊට එක් හේතුවක් වන අතර ජොහැනස්බර්ග් ක්‍රීඩාංගණය වේගපන්දු යවන කැගිසෝ රබාඩාගේ ගමේ ක්‍රීඩාංගණය වීමත් සහ මෙම ටෙස්ට් තරගය හෂීම් අම්ලාගේ 100 වැනි ටෙස්ට් තරගය වීමත් තවත් හේතුවකි.

මේ වන විටත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජය වී ඇති ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට අදින් ඇරැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයෙන් හෝ ජය ගැනීම ටෙස්ට් තත්ත්වය ලද රටක් හැටියට වැදගත්කමක් උසුලයි. නමුත් එසේ ජයග්‍රාහී සලකුණකින් ටෙස්ට් තරගාවලිය නිම කරන්නට නම් ශ්‍රී ලංකා පිති හරඹය පසුගිය තරග දෙකට වඩා විශාල වෙනසකින් සමන්විත විය යුතුය. එනම් ලකුණු රැස්කිරීම සඳහා පහරවල් තෝරා ගැනීමේදී අද සිට දැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුව ඇතත් පසුගිය තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණයට දැඩි හානියක් කළ කැගිසෝ රබාඩාගේ හා පිලැන්ඩර්ගේ වේගපන්දු ඊට ඉඩ ලබාදේදැයි ප්‍රශ්නයකි.

කඩුලු 10ක්ම ලබා ගනිමින් පසුගිය ටෙස්ට් තරගයේ වීරයා සම්මානයද ලබා ගත් රබාඩා අද සිට තමාගේ ගමේම ක්‍රීඩාංගණයේදී පෙරටත් වඩා දස්කම් දක්වනු ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් මෙසේ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ හිරිහැර නිසාම මෙම ක්‍රීඩාංගණයේදී මින් පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ 2002 වසරේ නොවැම්බර් 8දා සිට පැවැති ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 64කින් පරාජයට පත්වූයේ දින තුනකින් නිමා කරමිනි. ජොහැනස්බර්ග් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග කළ එකම ටෙස්ට් තරගය ලෙස එය වාර්තා වන අතර එම තරගයට ක්‍රීඩා කළ කිසිදු ක්‍රීඩකයකු අද කණ්ඩායම් දෙකටම ඇතුළත් නොවීමද විශේෂත්වයකි.

ඒ අනුව අද ජොහැනස්බර්ග් ක්‍රීඩාපිටියේදී දෙවැනි වරට හමුවන රටවල් දෙකක කණ්ඩායම් ලෙස දෙපිලම වෙනස් වුවද සත්කාරක දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ රටේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරන දස්කම්වල වෙනසක් දකින්නට නැත. ඒ බව මෙතෙක් තරගාවලියේදී සනාථ කර ඇති අතර ටෙස්ට් තරග 99කට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති හෂීම් අම්ලා අද තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන්නේ ඔහුගේ ටෙස්ට් දිවියේ ක්‍රීඩාංගණ අතර හොඳම ලකුණු සාමාන්‍යය (තරග 9කදී 49.46ක්) වාර්තා කර තිබෙන ජොහැනස්බර්ග් වොන්ඩරර්ස් ක්‍රීඩා පිටියේදීය. ටෙස්ට් තරග 99කදී ලකුණු 7,665ක් (සාමාන්‍ය 49.45) ලබා ඇති අම්ලා ශතක 25ක් හා අර්ධ ශතක 31ක් වාර්තා කර ඇතිවා සේම දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතර වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් සිවුවැනියා ලෙසත් වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයක් ලබාගත් තුන්වැන්නා ලෙසත් සටහන් වී ඇත.

කෙසේ වෙතත් අද සිට පැවැත්වෙන ටෙස්ට් තරගයේදීද වේග පන්දු බළඇණිය තවත් තර කරන්නට දකුණු අප්‍රිකානුවන් පියවර ගනු ඇතැයි පැවැසෙන අතර ඒ අනුව කයිල් ඇබට්ගෙන් හිස්වූ ස්ථානයට වමත් වේගපන්දු යවන වේන් පානෙල් ක්‍රීඩා කිරීමට නියමිතය. දකුණු අප්‍රිකානු පිලේ එසේ එක් වෙනස්කමක් සිදුවන විට ශ්‍රී ලංකාව පැත්තෙන් දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද පිටියට බැසීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත. එහෙත් නවක දක්ෂ පන්දු යවන්නකු ලෙස රැගෙන ගිය දකුණත් වේගපන්දු යවන විකුම් සංජය හා අත්දැකීම් ඇති දිල්රුවන් පෙරේරාත් මෙතෙක් බංකුවේ සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්