දුනු විදීමේ ක්‍රීඩා බලධාරීන් තායිලන්තයට යන කණ්ඩායමටත් විදලා

  👤  1270 readers have read this article !
Published by : MB WEB 2017-03-15 14:23:53

සිරිනාම රාජපක්ෂ

ආසියානු කුසලාන ලෝක ශේ්‍රණිගත කිරීම් දුනු විදීමේ තරගාවලියේ දෙවැනි අදියර හෙවත් ලෝක දුනු විදීමේ ක්‍රීඩා උළෙල (2017)ට අදාළව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් මේ මස 19දා සිට 26දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා තෝරා ගැනීමේදී බරපතළ අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට "මව්බිම"ට වාර්තා වේ.

මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය ජනවාරි 31දා සිට පෙබරවාරි 5දා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණද විවිධ හේතුන් මත එම තරගාවලිය කල් දමනු ලැබූ අතර රිකර්ව් (අඥජභපමඥ) ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක්ද කම්පවුන්ඩ් (ඛ්ධථනධභදඤ) පිරිමි ඉසව් සඳහා ක්‍රීඩකයෙක්ද වශයෙන් මෙවර තරගාවලියට තෝරා ගැනීමේදී එම ඉසව්වන්ට අදාළ ශේ‍ර්ණිගත කිරීම්වල ඉහළින්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ඇත. එනම් දුනු විදීමේ ජාතික ශූරයකු මෙන්ම රිකර්ව් පිරිමි අංශයේ මෙරට ශේ්‍රණිගත ලැයිස්තුවේ ඉහළින්ම (ලකුණු 641ක් ලබා) සිටින ශ්‍රී ලංකා පොලිසියේ ලක්මාල් රාජසිංහ හා රිකර්ව් කාන්තා ශේ‍ර්ණිගත කිරීම්හි ඉහළින්ම (ලකුණු 557) සිටින අනුරාධා කරුණාරත්න යන දෙදෙනාම මෙවර ආසියානු කුසලානයට යන කණ්ඩායමට තෝරා ගෙන නොමැත.

ඒ වෙනුවට රිකර්ව් පිරිමි ඉසව්ව වෙනුවෙන් ශේ්‍රණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ සිටින තුරඟ තරග ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු (ලකුණු 627) හා රිකර්ව් කාන්තා ඉසව්ව සඳහා ශේ්‍රණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවක (ලකුණු 542) තායිලන්තය බලා යෑමට තෝරා ගෙන ඇත. රිකර්ව් ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානයේ සිටින පොලිස් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව එසේ නොසලකා හැර තිබෙනවා පමණක් නොව මෙරට දුනු විදීමේ බලධාරීන් විසින් මෙම තරගාවලියේ කම්පවුන්ඩ් ඉසව්ව සඳහා තම ක්‍රීඩකයා තෝරා ගන්නා ලද ආකාරයද පුදුම සහගතය. එනම් එම ඉසව්වේ මෙරට තුළ ශේ්‍රණිගත කිරීම්හි අංක 1 ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්ද්‍රජිත් පෙරේරා (ලකුණු 657) ගෙදර තබා දෙවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකයකු (ලකුණු 634) ආසියානු කුසලාන තරගාවලියට තෝරා ගෙන ඇත.

තවද මේ වසරේ පසුගිය ජනවාරි මාසයේදී ජාතික මට්ටමේ දුනු විදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජාතික ශේ්‍රණිගත කිරීමේ තරාඟාවලියක් ලෙසද පැවැත්වූ සමස්ත ලංකා වයඹ දුනු විදීමේ ශුරතාවලියේදී පවා අංක 1 ස්ථානයට පත්වීමට ලක්මාල් සමත් විය. එම තරගාවලියේදී 2වැනියා වූ ක්‍රීඩිකාවද මෙම තරගාවලියට රැගෙන යයි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වයඹ දුනු විදීමේ ශුරතාවලියට ජාතික ශූරතා තරගාවලියට වඩා සහභාගිත්වයක් පැවැති අතර සිදුවී ඇති මෙම අසාධාරණය පිළිබඳව මේ මස 6 දාතමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිඛිත පැමිණිල්ලක්ද කර ඇති බව පැවැසේ. එසේම ආසියානු තරගාවලියේ කම්පවුන්ඩ් ඉසව්ව සඳහා ක්‍රීඩකයකු නම් කර ඇතැයි ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය වෙතින් සඳහන් වුවද මීට අදාළ නිල වෙබ් අඩවියේ තොරතුරු අනුව බලන විට තවමත් එම කම්පවුන්ඩ් ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයකු නම් කර නොමැත. මෙයද ගැටලුකාරී තතත්වයක් මතුකරන අතර කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කරන ලද පැමිණිල්ලට අනුව අසාධාරණයට ලක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යාංශයට ගෙන්වා ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්