මුතූ හොර රහසේ විවාහ වුණාද?

  👤  2645 readers have read this article !
Published by : MB WEB 2017-03-19 13:12:45

මුතූ හොරෙන්ම විවාහ වුණාවත්ද?

විවාහ වුණේ නැහැ තාම. අපි කරපු ෆොටෝ ෂූට් එකක් දැකලා ගොඩක් අය හිතලා තිබ්බේ අපි විවාහ වෙලා කියලා.

විවාහ නොවී ෆොටෝ ෂූට් එකක් කරන්න හිතුවේ?

මට ඩේ‍රස් කරන්නේ මිනෝෂාන් මල්ලි. ඉතිං එයා මගෙන් ඇහුවා අයියත් එක්ක ෂූට් එකක් කරමුද කියලා. ඉතිං නිශාන්තයි මමයි ඒකට කැමැති වුණා. ඒ ෆොටෝ ෂූට් එක දැකලා තමයි අපි වෙඩින් එකක් ගත්තා කියලා ගොඩක් අය හිතලා තිබුණේ.

පසුගිය කාලේ මුතූගේ පෙම් කතාව අහවර වෙලා කියලා කතා පැතිරුණා. ඒවට පිළිතුරු දෙන්න නෙවෙයිද පෙම්වතාව එළියට දැම්මේ?

එක එක කාලෙට එක එක ගොසිප් හැදෙනවානේ. අයියා ටික කාලෙකට රට ගිහින් ආවා. ඉතිං එයා රට ගිය නිසා වෙන්න ඇති එහෙම කතා හදලා තිබුණේ. අපේ සම්බන්ධයට අවුරුදු දහතුනක්. කටකතාවලට උත්තර දෙන්න නම් නෙවෙයි. ආරාධනාවක් කළ නිසයි ෆොටෝ ෂූට් එක කළේ.

දැන් විශේෂ අවස්ථාවලදිත් නිශාන්ත එක්ක ඡායාරූපවලට හසුවෙනවා වැඩියි නේද?

මම ඉස්සරත් විශේෂ අවස්ථාවලට ගියේ නිශාන්ත එක්ක. අපේ සහෝදර ශිල්පීන් එයාව දන්නවා. මං මිස් ශ්‍රී ලංකා තරගය විනිශ්චය කරන්න ගිය වෙලාවෙත් එයා මාත් එක්ක ගියා. ඉතිං එතැනදි ගොසිප් සයිට්වලින් අපි දෙන්නගේ ඡායාරූප ගත්තා.

අවුරුදු දහතුනක ප්‍රේම කතාවක් මේ තරම් දුර ගේන්න පුළුවන් වුණේ කොහොමද?

සමහර වෙලාවට ආදරේ කරද්දි හරියනම කෙනා ලැබෙන්නේ නෑනේ. දෙන්නෙක් අතරේ මොකක් හරි නොගැළපෙන තැනක් තියෙන්න පුළුවන්. හැබැයි අපි අතරේ නොගැළපීම් නැහැ. අපි අපිව හඳුනාගෙන ජීවත් වෙනවා. ඒකයි අපි මේ තරම් දුර අපේ ආදරය අරගෙන ආවේ.

ඒ ආදරය විවාහයකින් සම්පූර්ණ කරගන්න කල් ගන්නේ විවාහයට බය නිසාද?

සමහර වෙලාවලදි බය වුණා. සමහර අවස්ථාවල ආර්ථික ප්‍රශ්න ආවා. අපි ලංකාවෙන් ගියා. නිශාන්තගේ අම්මයි තාත්තයි නැති වුණා. මේ නිසා තමයි විවාහය කල් ගියේ.

එතකොට කවද්ද විවාහ වෙන්නේ?

මේ අවුරුද්දේ අග වගේ අපි විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ. ලොකු පාටි ගන්න නම් අදහසක් නැහැ. යාළුවන්ට නෑදෑයන්ට කියලා පොඩි ෆන්ෂන් එකක් ගන්නවා. මොකද බොරු සෝබන වැඩවලට අපි දෙන්නම අකැමැතියි.

මුතූ ක්ෂේත්‍රයේ වැඩ කරනවට නිශාන්තගේ අකැමැත්තක් නැද්ද?

නැහැ. මම කොහොමත් බිසී වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම හැමදේම බැලන්ස් කරගෙන කරගෙන යන නිසා එයා මට සීමා දාන්නෙ නැහැ.

මේ දවස්වල නට නට ඉන්නවා ඇරෙන්න ටෙලි නාට්‍යවල මුතූ පේන්න නැහැනේ?

මෙගා ස්ටාර්වලට තමයි මේ දවස්වල කාලය වෙන් කරලා තියෙන්නේ. නාට්‍ය හතරකට පහකටම ආරාධනා ලැබුණා. ඒත් මෙගා ස්ටාර් නිසා ඒ නාට්‍ය මිස් වුණා. ආයෙත් අප්‍රේල්වල ඉඳන් වැඩ භාර ගන්නවා. කරපු නාට්‍ය අටක් විතර එන්නත් තියෙනවා.

රංගන ශිල්පිනියක් විදියට හඳුනා ගත්තට දැන් මුතූට ගායනයටත් ලොකු අවස්ථාවක් ලැබෙනවා නේද?

ගායනයට එකතු වෙන්න පොඩි කාලේ ඉඳන් මට හීනයක් තිබ්බා. අහම්බෙන් තමයි මම රංගනයට ආවේ. ඊට පස්සේ මම ප්‍රෝගෑම්වල සින්දු කියනවා දැකලා මට ප්‍රසංගවල ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් අප්‍රේල් මාසේ ප්‍රසංගවලට සහභාගි වෙන්නත් තියෙනවා. විදෙස් ප්‍රසංගවලටත් සහභාගි වෙනවා.

ඔබේම ගීතයක් කරන්න අදහසක් නැද්ද?

මම ගීත දෙකක් කරලා තියෙන්නේ. ඒවා මීඩියාවලට දෙන්න මට කාලයක් තිබුණේ නැහැ. ඒත් අප්‍රේල්වලින් පස්සේ වීඩියෝවකුත් එක්කම එක් ගීතයක් රිලීස් කරනවා.

මුතූ හැමදාමත් හැඩට ඉන්නවා කියලා ගොඩක් අය කියනවා. මුතූ හැම වැඩක් අතරෙම රූපය ගැනත් ගොඩක් හිතනවා වගේ?

අයියාත් එක්ක මමත් ජිම් යන්න ගත්තා. හැබැයි එක කාලයක් මම මහත් වෙලා හිටියා. ඇඳුම් හතරක් විතර අයන් කරලා එකක් තෝරාගන්නේ අඳින්න. හැබැයි මම රූපය, ඇඟ ගැන හිතනවා. මොකද අපි දිහා බලන ප්‍රේක්ෂකයෝ කැමැතියි අපි ලස්සනට ඉන්නවට. මේ ටිකේ නම් මට ජිම් යන්න බැරිවුණා. ආයෙත් ජිම් යන්න පටන් ගන්නවා. ලස්සනට ඇඟ තියාගත්තොත් ඕන ඇඳුමක් අඳින්නත් පුළුවන්. කාටවත් මාව කැතට පේනවට මම කැමැති නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්