මයුර ලියනගේ ආත්මාගේ අඩිපාරේ

  👤  4610 readers have read this article !
Published by : MB WEB 2017-04-13 14:58:12

හා හා පුරා කියලා ගීතයක් කළානේ. ඒ ගැන විස්තර කියමුකෝ?

ඔව්. "අහිමි නෙත මාගේ" ගීතය අපිට ලැබිලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. ගීතය ලිව්වේ කජිනි අමන්දා. මමත් අපේ ස්ටූඩියෝ එකේ සින්දුවලට මෙලඩි කරන ගමන් හිටියේ. ඒ නිසා ඒ ගීතය එහෙමම තියෙන්න දුන්නා. ඉතින් මේ සින්දුව දැක්කාම මට සින්දුව කියන්න ඕන කියලා අදහසක් ආවා. ඒ නිසාම තමයි මම මේ ගීතය කළේ.

සින්දුව කියන්න කලින් සංගීතය ඉගෙන ගත්තාද? නැත්නම් තාත්තගේ ආභාසය අරගෙන ගීතයක් කළාද?

මම මියුසික් ඉගෙනගෙන තියෙනවා. සවුන්ඩ් ඉන්ජිනියරින් කෝස් එකකුත් කළා. දැනටත් මම මගේම කියලා ස්ටූඩියෝ එකක ආටිස්ලාගේ වැඩ කරනවා. මෙලඩි හදනවා. මෙලඩිවලට සින්දුවල පද කරනවා වගේම පදවලට මෙලඩි කරන්නත් මට පුළුවන්. ඒ නිසා මට මියුසික් ගැන දැනුමක් තියෙනවා.

ගීතයට තාත්තාගෙන් ලැබුණු සහාය මොන වගේද?

තාත්තා තමයි මුල ඉඳලාම මට උදවු කළේ. තාත්තා මට මියුසික් ගැන හුඟාක් දේවල් කියලා දුන්නා. මම දැනට වුණත් හැමදේම කරන්නේ තාත්තාගෙන් අහලා තමයි. හුඟාක්ම මියුසික් සම්බන්ධව තියෙන දේවල්වලදී මම තාත්තාගෙන් සෑහෙන්න උදවු උපදෙස් ගන්නවා. තාත්තා මේ ක්ෂේත්‍රය තුළ දන්න දේවල් ප්‍රමාණය වැඩියි. ඒ නිසා තාත්තාගේ දැනුම මට හුඟාක් වටිනවා.

මයුර ගීතයක් කරන්න මෙච්චර කල් ගත්තේ ඇයි?

කල් ගත්තේ නෑ. තව සින්දුවක් එන්නත් තියෙනවා. ඒක හුඟාක් වෙනස් එකක්. මේක බූට් සින්දුවක්මත් නොවෙයි. කොහොම වුණත් දැනට තියෙන සින්දුවලට වඩා හුඟාක්ම වෙනස් එකක්. අප්‍රේ්ල්වලින් පස්සෙ තමයි ඒ ගීතය එන්න තියෙන්නේ. සින්දු කළත් මගේ අනිත් වැඩත් එක්ක මම සෑහෙන්න කාර්යබහුලයි. මට ඉතින් ඕන නම් තාත්තාගේ සින්දුවක් රීමේක් කරගෙන ඉන්න තිබුණා. ඒත් ඉතින් එහෙම කරන්න මට අවශ්‍යතාවක් නැහැ.

ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ගීතයට මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ?

තාත්තාගේ යාළුවෝ ගීතයට හොඳයි කිව්වා. සමහර අය නම් කිව්වා ගීතය බටහිර ආරට ටිකක් වැඩියි කියලා. තවත් අය නම් කිව්වේ ගීතයේ වරදක් නෑ කියලා. කොහොමත් මගේ ගීතයට කවුරුත් වරදක් කිව්වේ නැහැ. වරදක් කිව්වත් කියන්නේ අපිට හදාගන්නනේ. ඒ නිසා මම හැම කෙනකුගේම අදහස් පිළිගත්තා. ඒ වගේම පළමු ගීතයට ඒ වගේ ප්‍රතිචාර ලැබීම ගැන මම හුඟාක් සතුටු වෙනවා.

රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

මට වඩා තාත්තට තමයි ප්‍රතිචාර තියෙන්නේ. ගෙදරට කෝල් එකක් ආවත් අහන්නේ ආත්මා ලියනගේ ඉන්නවද කියලා මිසක මයුර ලියනගේ ඉන්නවද කියලා නෙවෙයි. ඒ නිසා මගේ සින්දුවටත් තාත්තට තමයි හොඳයි කියන්නේ. මම සින්දුවක් කළත් රසිකයෝ හිතන්නේ ඒක ආත්මාගේ සින්දුවක් කියලා. කොහොමත් තාමත් මිනිස්සු මාව දන්නේ තාත්තා නිසාම තමයි.

තාත්තා වගේම අලුත් ගීතය කරන්න උදවු කරපු පිරිසකුත් ඇති නේද?

දිලුම් තේජන මියුසික් පැත්තෙන් මට උදව් කළා. ඒ වගේම ටෙහාන් පෙරේරාගේ ඩ්ධබ ඛ්ඩධජචතචබඥ බෑන්ඩ් එකේ චානකගෙන් ලොකු සහායක් ලැබුණා. ඒ වගේම මගේ යාළුවෝ ටික මට උදවු කළා. ගීතයේ විෂුවල් එක කරන්න ඉවෝක් ආයතනය මට ලොකු සහායක් දුන්නා.

තවත් ආත්මා කෙනෙක්ම මයුර තුළින් බිහිවෙයිද. නැත්නම් අනන්‍යතාවක් තිබෙන අලුත් ගායකයෙක් බිහිවෙයිද?

අනන්‍යතාවක් හදාගන්න මම උත්සාහ කරනවා. තවම එක ගීතයයිනේ කළේ. දැන් සේරම සින්දු තියෙන්නේ එකම රිදම් එකේ. මාර්කට් වෙන්නෙත් එහෙම ගීත විතරයි. ඒ නිසා මගේ ගීතය මම ටිකක් වෙස්ටර්න් පැත්තට බර කළා. අනන්‍යතාව, කියන්නේ මගේ ඇඟෙන්ම එන දෙයක්නේ. අනන්‍යතාව හදාගන්න කියලා වෙන දෙයක් කළොත් අමුතු වෙන්න ගියොත් ඒක ගැළපෙන්නෙත් නැහැ.

ප්‍රසංග වේදිකාවට යන්න අදහසක් තියෙනවද?

තාත්තාත් තවම ස්ටේජ් නඟිනවානේ. මම ගියත් මට යන්න වෙන්නේ තාත්තාගේ සින්දු කියාගෙන. එතකොට තාත්තාත් මාත් කියන්නේ එකම සින්දු ටිකක් විතරයි. ඒකට මම කැමැති නැහැ. ඒ නිසා මම හෙමින් මගේ සින්දු ටිකක් හදාගන්නවා. අනිත් එක මට එහෙම ආවා ගියා කෙනෙක් වෙන්නත් බෑ. මම එහෙම වෙන්න කැමැති නෑ. තාත්තා වගේම ක්ෂේත්‍රයේ කාලයක් රැඳෙන්න මට ඕන.

ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම වැඩකටයුතු මොනවාද?

තව සින්දු කීපයක්ම කරන්න අදහසක් තියෙනවා. කොහොමත් තාත්තාගේ සින්දු කියන්න නම් අදහසක් නැහැ. මම මගේම කියලා ගීත කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම අවුරුදු කාලය අල්ලලා අපේ කට්ටිය හදපු ගීතයක් තියෙනවා. ඒකත් අප්‍රේල් මාසේ ඕඩියෝ එකක් විදියට නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හංසි ආටිගල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්