දුක් කඳුළු අතරින් ජීවිතය දිනූ සරීටා

  👤  3408 readers have read this article !
Published by : MB WEB 2017-04-17 18:39:32

ලොව පුරා කාන්තාවන් විවිධ හිංසාවන්ට හා පීඩාවන්ට ලක් වෙනවා. එහෙත් සමාජයට ඇති බිය, නූගත්කම වැනි හේතු නිසා ඔවුන්ගේ කඳුළු ලොවට පෙනෙන්නේ නම් නැහැ. විශේෂයෙන් ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල කාන්තාවන් වගේම කුඩා දැරියන් තමන්ගේ නිවෙස් තුළදීම හිංසාවට ලක් වෙනවා. නමුත් බොහෝ විට එම කෘෘර ක්‍රියා සදාතකික රහස් බවට පත්වෙමින් ඔවුන් සමඟම වැළලී යනවා.

නමුත් තමන්ට මුහුණදීමට සිදුවූ අප්‍රියජනක සිදුවීම තවදුරටත් වසන් නොකර නොබියව ලෝකය ඉදිරියේ නැඟී සිටි කාන්තාවක් තමයි සරීටා ස්කාග්නස්. ඒ වගේම ඇය ලෝකය තුළ පීඩාවට, හිංසනයට ලක්වන අනෙකුත් දියණිවරුන් වෙනුවෙන් නැඟී සිටින්නටත් නොබියව ඉදිරිපත් වෙනවා.

ඉන්දියාවේ කුඩා නගරයක ඉපදෙන සරීටා පංජාබ් කාන්තාවක්. සැබවින්ම සරීටාගේ උපත ඇයගේ පවුලට සතුටක් ගෙන ආවේ නැහැ. ගැහැනු දරුවන් පිළිකුල් කරන සමාජයක් ඉදිරියේ සරීටා තවත් එක් අනවශ්‍ය ජීවිතයක් පමණක්ම වුණා.

සරීටාගේ පියාට ඇයගේ උපත හිසරදයක් බවට පත්වුණා. එයට විසඳුම ලෙස ඔහු දුටුවේ සරීටාගේ මරණයයි. ඒ නිසා ඔහු තමන්ගේ ලෙයින් ජාතක වුණු පුංචි සරීටාව මරන්නට උත්සාහ කරනවා. එහෙත් සරීටාගේ ඉරණම එතරම් කුරිරු එකක් වන්නේ නැහැ. කුමක් හෝ වාසනාවකට ඇයට තවදුරටත් ජීවත් වන්නට වාසනාව ලැබෙනවා.

ඉන්පසු ඔහුගේ පියා මේ කරදරකාරී බිලිඳිය වෙනත් දරුවකුට මාරු කරගැනීම සුදුසු යැයි සිතනවා. ඉන්පසු ඔහු කුඩා සරීටාව පිරිමි දරුවකු වෙනුවට හුවමාරු කර ගන්නවා.
ඇයගේ අලුත් පවුල ඇයට වාසනාවන්ත පවුලක් වන්නේ නම් නැහැ. ඇයගේ අලුත් පවුල තුළ ඇය වහලියක් බවට පත්වෙනවා. අවුරුදු 3ක සිට එම නිවෙසේ මෙහෙකාරිය වුණු සරීටා වයස අවුරුදු 5දී තමාගේ හදා වඩාගත් පියා අතින් අපහරණයට ලක් වෙනවා. නිතර නම්බුව ගැන කතා කළ සරීටාගේ පියාට එරෙහි වීමට කිසිවකුට නොහැකිවුණු බව සරීටා පවසනවා.

සරීටාට වයස අවුරුදු 16 වන විට සරීටාගේ පවුල නෝර්වේ රාජ්‍ය වෙත යනවා. එහිදී තමාගේ පවුලේ මෙහෙකාරිය ලෙස සරීටාව එම රාජ්‍යයට රැගෙන යෑමට ඔවුන් අමතක කරන්නේ නැහැ.

නෝර්වේ රාජ්‍යයට යන සරීටාට නිදා ගැනීමට ලැබෙන්නේ ඇයගේ පියාගේ පඩිපෙළ යටයි. නෝර්වේ රාජ්‍යයේදී සරීටාව විවිධ රැකියාවල යොදවා ඇයගෙන් මුදල් උපයා ගන්නට ඇයගේ නරුම පියා සමත් වෙනවා. ඇය මැක්ඩොනල්ඩ් එකේ වගේම විවිධ සුළු සුළු රැකියා කිහිපයකම නිරත වෙනවා. වයසින් වැඩෙත්ම අධ්‍යාපනයේ ඇති වටිනාකම ගැන සරීටාට තේරුම් යනවා. සියලු කරදර බාධක මැද වුවත් ඇය අධ්‍යාපනයට සිත යොමු කරනවා. එහි ප්‍රතිඵල ලෙස ඇය නෝර්වේ, ඉංගී්‍රි්‍රසි ඇතුළු භාෂා හයක් ඉගෙන ගන්නවා.

ලෝකයේ එළිය දුටු දිනයේ පටන් දුකට හුරු වූ ඇයගේ නෙත් අවුරුදු 19දී ජීවිතයේ එළිය සොයා යනවා. සැබවින්ම ඇයට ජීවිතයේ නව මානයක් විවර වන්නේ ඇලෙක්ස් ස්කාග්නස් නම් තරුණයා මුණගැසීම සමඟයි. නමුත් ඇලෙක්ස්ගේ සහ සරීටාගේ සම්බන්ධයට ඇයගේ නිවෙසින් කැමැත්ත පළ කරන්නේ නම් නැහැ.

"මගේ විවාහයටවත් මගේ නිවෙසින් කැමැති වුණේ නැහැ. ඒත් මාව එපා වෙලා තිබුණු ඒ පවුල මම අතහැරල දැම්ම."

ඒ ඇයගේ හඬයි, ඇයගේ පවුල අතහරින ඇය ඇලෙක්ස් සමඟ ස්වීඩනයේ පදිංචියට යනවා. එතැන් පටන් ඇය, ඇය වෙනුවෙන් වගේම ලොව පුරා ගැහැනු දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් නැඟී සිටිනවා.

ඇය කාන්තාවන්ට හා දැරියන්ට උපකාර කරන සංවිධාන කිහිපයකම නියෝජිතවරියක ලෙස කටයුතු කරනවා. ඒ වගේම සැමියාගේ උපකාරයෙන් ඇය Fund for Higher Education of girls in India නමින් සංවිධානයත් අරඹනවා.

ඇයගේ Just a daughter ග්‍රන්ථය එළිදැක්වීම සමඟ ඇය ලොව පුරා කතාබහට ලක්වන කතුවරියක් බවට පත් වෙනවා. සරීටාගේ ජීවිත කතාව මේ ග්‍රන්ථය තුළින් ඇය ලෝකයා හමුවට ගෙනෙනවා.

එම ග්‍රන්ථය නෝර්වේ, ස්වීඩන්, ඉංගී්‍රසි, ෆිනිෂ් වගේම සිංහල භාෂාවටත් පරිවර්තනය වී තිබෙනවා. ඉන්පසු ඇයට දැරියන්ට වන අපචාර සම්බන්ධයෙන් විවිධ දේශන පැවැත්වීමට ලෝකයේ රටවල් රැසකින් ආරාධනා ලැබෙනවා. අද වන විට සරීටා ලොව ගැහැනු දරුවන් වෙනුවෙන් මහඟු මෙහෙවරක් කිරීමට ඇප කැප වී සිටිනවා. ඒ වගේම ඇයට හිමිවන මුදල් ඉන්දියාවේ දිළිඳු දරුවන් වෙනුවෙන් වෙන් කරන සරීටා, ස්වීඩනයේ ඉමඥපඪඨඥඵ අචඤඪධ හි ප්‍රධාන දේශකවරියක් හා නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.ඉන්දියාවේ වසරකට ගැහැනු දරුවන් කළල අවස්ථාවේ පටන් මිලියන් 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශයට හෝ මරණයට පත් වන බව සරීටා ලොවට හෙළි කරනවා. ඒ වගේම ඇයගේ රැකවරණය යටතේ ජීවිත සාර්ථක කරගත් දැරියන් රැසක් සිටීම ඇයට ඉතා සතුටක් බව බොඳවුණු සතුටු කඳුළු මැදින් සරීටා පවසනවා.

සෙව්වන්දි ප්‍රදීපිකා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්