ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය

  👤  2239 readers have read this article !
Published by : MB WEB 2017-04-19 08:17:41

ශ්‍රී ලංකා පිල තෙවැනි තරගයත් පරදී

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 102කින් ජයගත් ඕස්ට්‍රේලියානු යෞවනයන් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

හෝබාර්ට්හිදී පැවැති මෙම තරගයේ ඕස්ට්‍රේලියානුවන් කඩුලු 7කට ලබාගත් ලකුණු 251ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා යෞවනයන්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 50ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටියට පැමිණි ජෙහාන් ඩැනියෙල් එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් තරගයේ තීරණය වෙනස් කිරීමට උපරිම වෙහෙසක් ගත්තද සෙසු පිතිකරුවන්ගේ නොසැලකිලිමත් පිතිහරඹය එයට බාධාවක් වී තිබිණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා අනෙක් පිතිකරුන්ට ආදර්ශවත් පිතිහරඹයක් දියත් කළ ඩැනියෙල් පන්දු 84කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබාගත්තේය.

ලකුණු 61කට කඩුලු 4ක් හා ලකුණු 43කට කඩුලු 3ක් දවාගත් හැඩ්ලි හා පෝප් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට දායක වූ ප්‍රධාන පන්දු යවන්නන් දෙපොළ බවට පත්විය.
මෙම තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියානුවන් ලකුණු 160කින් ජයගැනීමට සමත් වූ අතර, දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 8කින් ජයගත්තේය.
මේ අනුව දෙරට තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි එක්දින තරගය අප්‍රේල් 21දාත්, අවසන් එක්දින තරගය අප්‍රේල් 23දාත් පැවැත්වීමට නියමිතව ඇත.

ලකුණු සාරාංශය

ඕස්ට්‍රේලියාව (පන්දුවාර 50කදී කඩුලු 7කට) 251 (ජැක් එඩ්වර්ඩ් 95, විල් සදර්ලන්ඩ් 49, ඔස්ටින් වෝ නොදැවී 40, ප්‍රවීන් ජයවික්‍රම 2/56)
ශ්‍රී ලංකාව (පන්දුවාර 32.4කදී සියලු දෙනා දැවී) 149 (ජෙහාන් ඩැනියෙල් නොදැවී 55, හසිත බෝයගොඩ 15, රයන් හැඩ්ලි 4/61, ලොයිඩ් පෝප් 3/43)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්