අමාත්‍යාංශයෙන් දුන් රුපියල් මිලියනයක් ජල ක්‍රීඩා සංගම් තටාකයේ ගිලෙයි

  👤  1217 readers have read this article !
Published by : MB WEB 2017-04-20 17:45:39

විචිත්‍ර වීරසිංහ

2015 වසරේදී තායිලන්තයේදී පැවැති 8 වැනි ආසියානු වයස් සීමා පිහිනුම් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් ලක්‍ෂ 10කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වන තෙක් ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් එම තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙත ලබා දී නොමැති බව "මව්බිම"ට වාර්තා වේ.

ඒ අනුව 2015 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 60 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සහභාගි වී ඇති අතර, ඒ සඳහා සහභාගි වූ එක් ක්‍රීඩකයකුගෙන් රුපියල් 65,000කට ආසන්න ප්‍රමාණයක් ජල ක්‍රීඩා සංගමය විසින් ලබාගෙන තිබේ.

එහෙත් තරගාවලියට සහභාගි වූ එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ගුවන් ටිකට් පත් වෙනුවෙන් ලබා දුන් මුදල් ප්‍රමාණය අදාළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙත ලබා දීමට මෙතෙක් ජල ක්‍රීඩා සංගමය විසින් පියවර ගෙන නොතිබීම හේතුවෙන් මේ පිළිබඳව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා දැනුවත් කිරීමට එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ මවුපියන් සූදානම්ව ඇතැයිද පැවැසේ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගෙන් කොටසක් සැප්තැම්බර් 29 වැනිදාත්, අනෙක් කණ්ඩායම සැප්තැම්බර් 30 වැනිදාත් පිටත්ව ගිය නමුත් පළමු කණ්ඩායමෙන් ලබාගත් මුදලම දෙවැනි කණ්ඩායමෙනුත් ලබා ගැනීම සම්බන්ධයෙනුත් මවුපියන්ගෙන් නොයෙකුත් විරෝධතා මතුව ඇතැයිද දැනගන්නට ඇත.

"මේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ සුපිරි පන්තියේ දරුවන් නොවෙයි. අපි විශාල මුදල් ප්‍රමාණයක් මේ සංචාරය සඳහා ලබා දුන්නා. ඒත් අමාත්‍යාංශය ගුවන් ටිකට්පත් වෙනුවෙන් ලබා දුන් මුදල අපට බෙදා දුන්නා නම් ඒකෙන් විශාල සහනයක් අපට ලැබෙනවා. අවුරුදු 2ක් වෙලත් ඒ මුදලට වෙච්ච දෙයක් කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන අහන්න ඕන සංගමයෙන් තමයි" යනුවෙන් එක් ක්‍රීඩකයකුගේ පියකු සඳහන් කළේය.

මේ අතර මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) ආර්. බී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එම තරගාවලිය සඳහා ගුවන් ටිකට් පත් වටිනාකමෙන් 50%ක මුදල් ප්‍රමාණයක් ජල ක්‍රීඩා සංගමයට ලබා දුන් බවය. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් මෙම තරගාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 63 දෙනකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් වටිනාකමෙන් 50%ක මුදල් ප්‍රමාණයක් එනම් රුපියල් 9,96,975ක (රුපියල් නවලක්‍ෂ අනූ හය දහස් නවසිය හැත්තෑපහක) චෙක් පතක් නිශ්චිතවම ලබා දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියකු සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්