කොමඩි ඇක්ට් කරන අයට කිසිම අභියෝගයක් නැහැ

  👤  2388 readers have read this article !
Published by : MB WEB 2017-05-15 15:38:07

"ශත පනහේ" දඟයා

මම පාසල් කිහිපයකම ඉගෙන ගත්තා. හැබැයි අන්තිමට ගියේ මොරටුමුල්ල මෙතෝදිස්ත උසස් විදුහලට. මට මතකයි මං 7 වසරේ ඉන්නකොට උසස් පෙළ ළමයි නාට්‍යයක් පටන් ගත්තා "ශත 50" කියලා. ඉතින් අහම්බෙන් වගේ අපේ ටීචර්ට කවුදෝ කියලා පල්ලියේ නාට්‍යවල රඟපාන කෙනෙක් හත වසර පන්තියේ ඉන්නවා කියලා. අන්තිමට මේ නාට්‍යයේ ප්‍රධාන චරිතෙට මාව තමයි තෝරාගත්තේ. එක දඟකාර කොල්ලෙක්ගේ චරිතේ තමයි මට ලැබුණේ.

මේ නාට්‍යයේ මං රඟපාද්දී මාව අපේ ටීචර්ට හොඳටම හිතට ඇල්ලුවා. ඒ කාලෙදි මම ඉස්කෝලෙත් පොඩි ජනප්‍රියත්වයක් ලබලා තිබුණා.

මල්සරා විද්ද විදිල්ලට කෑ ගැහුණා

අපේ පන්තියේ හොඳ හොඳ වැඩ ඒ කාලේ සිද්ධ වුණා. අපේ සාහිත්‍ය සර් සාහිත්‍ය උගන්වන්නේ රසට. හැමදේම රඟපාන ගමන්. ඉතින් දවසක් සර් උගන්වන ගමන් අනංගයා එයාගේ මල් දුන්නට මල් හී සර දාලා එකපාරටම ඊතල විද්දම ඒ හීය වැදුණම පෙම් සටන පටන් ගන්නවා කියලා මගේ පැත්තට ඊතලය අතෑරියා. එකපාරටම මං "බුදු අම්මෝ" කියලා කෑ ගැහුවා. ඒ සද්දෙට මුළු ඉස්කෝලෙම බයවෙලා. අන්තිමට මට හැමෝම බැන්නා. මගෙන් ඇහුවා "මොකද ඔච්චර හයියෙන් කෑ ගැහුවේ" කියලා. ඉතින් දැන් මට දෙන්න උත්තරයක් නෑනේ. මං කිව්වා "සර් රඟපාපු විදියට මට ඒක හොඳටම ඇඟට දැනුණා" කියලා. ඉතින් මං පන්තියේ අවධානයෙන් ඉන්න ළමයෙක් කියලා සර් මට පස්සේ සමාව දුන්නා.

ජෝ අබේවික්‍රමගෙන් ලැබුණු තෑග්ග

මට මතකයි ඉස්සර අපි අවුරුදු උත්සවවලින් තෑගි ගන්නවා. දවසක් මමයි යාළුවකුයි විකට ඇඳුම් තරගෙකට හිටියා. ඉතින් ඕකෙන් අපි තමයි දිනුවේ. හැබැයි ඉතින් තරගෙන් තෑග්ගක් විදියට හම්බවුණේ ලොකු සාස්පානක්. දැන් ඉතින් මේක දෙකට බෙදන්න බෑනේ. මං හැලිය අරගෙන යාළුවට පියන දුන්නා. මං එදා තෑගි ගත්තේ ජෝ අබේවික්‍රම සහ අනුලා කරුණාතිලක අතින්. ඉතින් ඒක මගේ ජීවිතේදී අමතකම නොවන දෙයක්. මං පස්සේ කාලෙක මේක ඒ දෙන්නට කියලත් තියෙනවා.

අපූරු චිත්‍ර ඇඳිල්ල

ඉස්කෝලෙ කාලෙදි අපි අපේ චිත්‍ර සර්ට හරියට විහිළු කරනවා. දවසක් සර් අපිට කිව්වා වෙරළේ දැල් අදින ධීවරයෝ ටිකක් අඳින්න කියලා. මං ඕක ඇන්දේ නෑ. ඊට පස්සේ සර් පිළිවෙළට පොත් ටික බලාගෙන එනවා. ඉතින් හදිසියට මං කරපු වැඩේ තමයි නිල් පාටින් මුහුද ඇඳලා අයිනෙන් පොල් ගහක් ඇඳපු එක. සර් මගේ පොත බලලා මගෙන් ඇහුවා කෝ මේකේ දැල් අදින මිනිස්සු කියලා. ඉතිං මං සර්ට කිව්වා තාම ධීවරයෝ මුහුදු ගිහින් ඇවිත් නෑ ආවම බෝට්ටුව බඳින පොල්ගහ තමයි ඔය තියෙන්නේ කියලා.

කෙටි චිත්‍රපටයේ වැඩ, ලත් තැන ලොප්

මං සංගීත බඩු කඩයක රස්සාවක් කළා. ඉතින් ඒ කාලේ මට ආස හිතුණා කෙටි චිත්‍රපටයක් කරන්න. මම චිත්‍රපටයට පිටපතක් ලිව්වා. ඉතින් ඕක කරන්න මට වැඩකරපු තැනින් ලොකු උදවු ලැබුණා. වාහන පවා ලැබුණේ පෙට්රල් ගහලමයි. ඒ චිත්‍රපටයේ සෝනියා දිසා, රෝහිණී ජයකොඩි වගේ අය රඟපෑවා. ඒත් අන්තිමට විවිධ ආර්ථික ප්‍රශ්න හින්දා මට චිත්‍රපටය අතරමඟ නවත්වන්න වුණා. ඒ චිත්‍රපටයට දිනේෂ් ප්‍රියසාද් පවා මට උදවු කළා.

වැඩට නොගිහින් දිනේෂ්ගේ ගෙදර ගිය අතීතය

දිනේෂ් කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. ඒ කාලේ ඉඳලම අපි හොඳ යාළුවෝ. මම ඒ කාලේ වැඩට යන්නේ නැතිව දිනේෂ්ලාගේ ගෙදරට වෙලා ඉන්නවා. අන්තිමට පඩිය ආවම තමයි අම්මට අහුවෙන්නේ මං වැඩට ගිහිල්ලා නෑ කියලා. අපි යාළුවෝ වුණාට හැමදාම ඉතින් මොකක් හරි දේකට රණ්ඩු වෙච්ච ගමන්. දවසක් මං දිනේෂ් එක්ක රණ්ඩු වෙලා එයාගේ ගෙදරින් යන්න එළියට ආවා. දිනේෂ් මට නවතින්න කීවේ නෑ. හැබැයි "මං කරන පළමුවැනි චිත්‍රපටයට මං උඹව ගන්නවා" කියලා නම් කීවා.

අපායේ තත්පර එක්දහස් අටසියයක්

ඒ කියපු විදියටම දිනේෂ්ගේ පළමුවැනි චිත්‍රපටය "අපායේ තත්පර 1800ක්" චිත්‍රපටයට මාව ගත්තා. ඒ චිත්‍රපටය කලින් නාට්‍යයක්. මට මතකයි මේක අපි පෙන්නුවේ වෙසක් නාට්‍යයක් වගේ. ලී කොට දාලා ඒ උඩ අපි නාට්‍ය පෙන්නුවා.

තාත්තා කී දේ නාහා කොහොමද..?

මං මෙහෙම නාට්‍යවල රඟපානවා දැකලා අපේ තාත්තා මට කීවා "උඹ උඹගේම නාට්‍යයක්, උඹේම විදියට කරපන්" කියලා. අපේ තාත්තා ටිකක් වෙනස් විදිහට හිතපු කෙනෙක්. ඒ හින්දම මං මගේම නාට්‍යයක් කරන්න පටන් ගත්තා.

පෙරළිකාරයෝ, නොම්මර එකයි ජනප්‍රියත්වයේ

මං කරපු චිත්‍රපට අතර චිත්‍රපට කීපයක්ම ජනප්‍රිය වුණා. "නොම්මර එකයි, පෙරළිකාරයෝ" මේ දෙකම අධ්‍යක්ෂණය කළේ දිනේෂ්. මං තමයි කතාව, තිර රතනය කළේ. පෙරළිකාරයෝ චිත්‍රපටයේ විජය කුමාරතුංග එක්ක තනූජා මුඛර්ජි රඟපෑවා. තනූජා කියන්නේ කාජල්ගේ අම්මා. විජය අයියා නිෂ්පාදනය කරපු "වරදට දඬුවම්" තිරගත වෙද්දි විජය ජීවතුන් අතර හිටියේ නෑ. ඒක මාර විනෝද චිත්‍රපටයක්.

නළුවෝ කොහොමද නාකි වෙන්නේ..?

මොන හේතුවක්ද දන්නෑ දිගටම මට ලැබුණේ විහිළු චරිත. ලංකාවේ නිළියෝ හැමෝමත් එක්ක මං රඟපාලා තියෙනවා. මං හිතන්නේ ඒක මගේ වාසනාව. මට සතුටුයි ඒ ගැන. සෝනියා දිසා, වීනා, අනෝජා, දිල්හානි, නිලන්ති මේ හැමෝම එක්ක වගේම දැන් ඉන්න දිනේෂ්ගේ දුවලා එක්කත් මං රඟපාලා තියෙනවා. නළුවෝ කවදාවත් නාකි වෙන්නෑ කියන්නෙත් ඒකයි. රඟපාද්දි මං කොහොමටවත් හිතන්නේ නෑ මං කොච්චර වයසද කියලා.

හිනස්සන්න හැමෝටම බෑ

මගේ ජීවිතේදී කිසිම අභියෝගාත්මක දෙයක් මට ලැබිලා නෑ. කොමඩි ඇක්ට් කරන අයට කිසිම අභියෝගයක් නෑ. තාත්වික දේ කොයි කාටත් කරන්න පුළුවන්. හැබැයි හාස්‍ය රංගනයක් කරන්න හැමෝටම බෑ.

නැතිවුණු ඉල්ලුම ආයෙත් හැදිලා

පසුගිය කාලෙදි චිත්‍රපටවලට ඉතා අසීරු කාලයක් උදා වුණා. චිත්‍රපට නරඹන්න ප්‍රේක්ෂකයෝ එන්නේ නැති වුණාම ඒ චිත්‍රපට ගැලවිලා ගියා. නළුවන්ගේ එක් දුර්ලභ හැකියාවක් තමයි මිනිසුන්ව සතුටු කරන එක. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නිකන් ඇක්ට් කරන එක විතරක්ම නෙවෙයි. චිත්‍රපටවල පසුබෑමක් ඇති වෙද්දී මගෙන් හැමෝම අහන්න පටන්ගත්තා "ටෙනී අයියා ආයේ කවද්ද චිත්‍රපටයක ඉන්නේ" කියලා. ඒ කාලේ මට ච්ඍච් ජ්ඪතථඵ වලට ආරාධනා ලැබුණා. ඒවායේ මං මගේ ආත්ම ගෞරවය තියාගෙන රඟපෑවා. එතකොට චිත්‍රපටවලට ආයෙත් පොඩි ඉල්ලුමක් ආවා.

සතුට මුලට සල්ලි පස්සට

ලැබෙන චිත්‍රපටයෙන් සතුටු වෙන්න බැරි නම් කොච්චර මුදල් දුන්නත් මං ඒවායේ රඟපාලා නෑ. සමහරු චිත්‍රපට කරනවා. හැබැයි මේක හෝල්වල ප්‍රදර්ශනය වෙද්දිම ච්ඍච්වලටත් එනවා. මේක කලාවක් නෙවෙයි එතකොට. මිනිසුන්ගේ මානසික සුවය හදන්න පුළුවන් එකම දේ තමයි කලාව. කලාවට පුළුවන් අපි හිරවෙලා, කොටුවෙලා ඉන්න ජීවිතෙන් අපිව මුදවන්න.

වැඩ බැරි ටාසන් දැන් නැති බැරි ටාසන්

ඒ දවස්වල මං "වැඩ බැරි ටාසන්" එකේ රඟපෑවා. ඉතින් ඒකේ දෙවැනි කොටස ආවා "වැඩ බැරි ටාසන් මැති සබේට" කියලා. දැන් ඒකේ තුන්වැනි කොටසත් එනවා "නැති බැරි ටාසන්" කියලා. ඉතින් මේ එක්කම තවත් චිත්‍රපටි දෙකකට මම ළඟදි රංගනයෙන් සම්බන්ධ වුණා.

ගණන් නොගන්නා කොමඩි

මේ ලෝකේ කරන්න අමාරුම දේ තමයි තවත් කෙනෙක්ව හිනස්සවන එක. චාලි චැප්ලින් ඒ රටේ මිනිස්සුන්ට තිබුුණු ප්‍රශ්න සේරම හාස්‍ය තුළින් අමතක කෙරෙව්වා. තවත් කෙනෙක්ව පහත් තත්ත්වයකට දාන එක හාස්‍ය නම් නෙවෙයි. වැප්ලින් හිට්ලර්ව පවා උපහාසයට අරගෙන සමාජ සංශෝධනයක් ඇති කරවීම දක්වාම කටයුතු කළා. ලංකාවේ නම් කොමඩි කියන දේ ගණන් ගන්නේ නෑ. මේක මහා භාරධූර කටයුත්තක්. මට මෙහෙම දෙයක් කරන්න ලැබීම ගැන මං ඇත්තටම සතුටු වෙනවා.

සම්මාන එපා

චිත්‍රපට සම්මාන උත්සවවලදී මට කවදාවත් කුසලතා සම්මානයක්වත් ලැබිලා නෑ. සම්මාන නොලැබිච්ච එකම මට ලොකු සතුටක්. මට සම්මාන දෙන්න ඉන්න අයටත් මං කියන්නේ මට සම්මාන එපා කියලා. මට සම්මාන උළෙලවල් විවේචනය කරන්න කිසිම අයිතියක් නෑ. මං දන්නවා මගේ රසිකයෝ මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා.

බන්දු සමරසිංහ, විමල් කුමාර ද කොස්තාට හිමි තැන

මට මෙතෙක් ලැබිලා ඉන්න හොඳම සහාය නළුවා තමයි බන්දු සමරසිංහ. විමල් කුමාර ද කොස්තා මහත්මයාට මං පුදුම ආදරෙයි. ඔහු තමයි මාව මුලින්ම ඉබචඨඥ ඩ්‍රාමා එකකට යෝජනා කළේ. ඒ "ගුවන් කරණම්" නාට්‍යයට.

හොඳම සහයත්, හොඳම විවේචනයත් ගෙදරින්ම

මං ආපූ ගමනේදී මගේ කලා ජීවිතේට මං ළඟින් ඉඳන් උදවු කරන්නේ මගේ බිරිය. ඒ වගේම තමයි මාව විවේචනය කරන්නේ, දිරි ගන්වන්නේ හැමදේම කරන්නේ මගේ දුව මධූ. එයා දැන් ගුරුවරියක්. ඒ වගේම මාත් දැන් සීයා කෙනෙක්.

නලිනිකා ලක්ෂානි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්