ප්‍රින්ස් ගැන සමාජ ජාල වල යන කට කතා වල ඇත්ත නැත්ත මෙන්න

  👤  1686 readers have read this article !
Published by : MB WEB 2017-05-15 16:04:48

ප්‍රින්ස් උදය ප්‍රියන්ත සුමධුර ගායනයෙන් රසිකයන් මුසපත් කළ ගායකයෙක්. ඔහු අද සිටින්නේ රෝගාතුරව බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. රෝගාතුරව ඉන්න ඒ සුන්දර මිනිසා ගැනත් සමාජ මාධ්‍යවල අනුකම්පාව වෑහෙනවා වගේම ඔහු ගැන අසත්‍ය ප්‍රචාරත් මේ දිනවල පැතිරෙනවා. ඔහු ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ ඔහුට රැකවරණය දෙන ඔහුගේ සහෝදරියගෙන්. ඇය ශිරෝමී ප්‍රියංගිකා. මේ හදගැස්ම ඇය සමග කළ කතා බහයි.

මේ දවස්වල ප්‍රින්ස් ගැන මොකද්ද මේ පැතිරෙන කට කතාව?

අයියා මිය ගිහින් කියලා Face book හරහා කතාවක් ප්‍රචාරය වෙලා තිබුණා. මම දැක්කා සමහරු ඒවයේ නිවන් සුව ලැබේවා කියලා Comment කරලත් තියෙනවා. ඉතින් ජීවත්ව ඉන්න කෙනෙක් ගැන මේ වගේ අසත්‍ය ප්‍රචාර ගෙනියන එක හොඳ දෙයක් නොවෙයි. මේ දේවල්වලින් වෙන්නේ අපිව තවත් වේදනාවට පත්වෙන එක විතරයි.

අද වෙනකොට ඇත්තටම ප්‍රින්ස් ඉන්නේ මොනවගේ තත්ත්වයකද?

දැන් නම් ඇත්තටම අයියා ඉන්නේ සිහිකල්පනාව පවා නැති වුණ තත්ත්වයක. කොටින්ම මාව හඳුනන්නෙත් නැති වෙන වෙලාවල් තියෙනවා. පසුගිය දවස්වල නම් ටිකක් ඇවිදින්න හරි පුළුවන්කම තිබ්බා. නමුත් මෑතකදී නිව්මෝනියාව හැදුණ නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරිලයි තියෙන්නේ.

ප්‍රින්ස්ගේ ගීත දෙකක් විකුණන්න හදනවා කියන්නේ ඇත්තද?

ඔව්, අයියගේ ප්‍රතිකාර වෙනුවෙන් ලක්ෂ 25ක් විතර වැය වෙනවනෙ. ඉතින් ඒ දේත් එක්ක මම හිතුවා අයියම ලියලා අයියම සංගීතවත් කරපු අයියගේ ගීත විකුණලා හරි මම මේ මුදල හොයනවා කියලා.

එතකොට ඔය විදියට විකුණන්න ලෑස්ති වෙන ගීත මොනවද?

අයියගෙම ගීත වෙච්ච, "ඔබ හා ගෙවූ අතීතේ" කියන ගීතයත් "ඔබ මා හදින් සැඟවී නොයන්" කියන ගීතයත් තමයි මේ විදියට විකුණන්න තීරණය කළේ.

ඔය ගීත දෙකම ඇහුණු ගමන් මිනිස්සුන්ගේ හදවතේ මැවෙන්නේ ප්‍රින්ස්ව. ඉතින් මේ වගේ ගීත දෙකක් විකුණන්න තීරණය කරපු එක ප්‍රින්ස්ට වගේම ඔහුගේ රසිකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?

රසිකයන්ට ගායකයෙක් වෙන්න කලින් එයා මගේ සහෝදරයා. ඉතින් දැන් මගේ අරමුණ ප්‍රින්ස්ගේ ගීත රැක ගන්න එක නෙවෙයි. මම දැන් අයියගේ ජීවිතේ වෙනුවෙන් ගන්න තීරණ අනුව තමයි ඉස්සරහට රසිකයන්ට අයියගේ හඩින් ගීත අහන්න ලැබෙනවද? නැද්ද? කියන එක තීරණය වෙන්නෙත්. ඉතින් ගීතවලට වඩා මට මගේ අයියගේ ජීවිතය වැදගත්.

මේ මුදල් හොයා ගන්න වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද?

අපි දෙන්නටම අයිති ඉඩකඩම් විකුණලා තමයි අයියා වෙනුවෙන් මේ වෙනකම්ම සල්ලි හොයා ගත්තේ. ඉතින් මට ගන්න වෙන විකල්ප තීරණයක් නැති නිසයි මේ ගීත විකුණනවා කියන තීරණයට ආවේ.

ඔබ ප්‍රින්ස්ගේ ගීත ගයන්න ලෑස්ති වෙනවා කියලත් ආරංචියි?

මෙහෙමයි. මට ගායිකාවක් වෙන්න ලොකු ආසාවක් නැහැ. ඉස්සර තිබුණෙත් නැහැ. මං පොඩි කාලෙදිත් අයියා මට නිතරම කෑ ගහනවා ඔයා ප්‍රැක්ටිස් කරන්නෙ නෑ. ඔයාට සංගීතය ගැන වුවමනාවක් නෑ කියලත්. නමුත් අයියාගේ ගීත ගායනා කරමින් සමහරු කරන දේවලුත්, දැන් ඇති වෙලා තියෙන මූල්‍ය අර්බුදත් නිසා මම තීරණය කළා ගායනයට පිවිසෙන්න ඕනෙ කියලා.

අයියාගේ ජනප්‍රියත්වයෙන් නංගී ජනප්‍රිය වෙන්න හදනවා කියලා කවුරු හරි කිව්වොත්?

අනේ නැහැ. මට ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම සංගීතය විශාරද වෙනකන් ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඒ දැනුමෙනුත් ප්‍රයෝජනයක් අරන් අයියගේ ගීත වලින් ලැබෙන හැම සතේකින්ම අයියව ජීවත් කරවන්නයි මට ඕනේ.

සමාජ ජාල තුළ බොහෝ දෙනා ප්‍රින්ස් ගැන කතා කරනවා. දුක් වෙනවා. ඇත්තටම ප්‍රින්ස් වෙනුවෙන් ඔබ මොනවද ඔහුගේ රසික රසිකාවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ?

ප්‍රින්ස් වෙනුවෙන් මූල්‍යමය දායකත්වයක් දක්වන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් කොමර්ෂල් බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ ශිරෝමි ප්‍රියංගිකා ප්‍රනාන්දු නමින් තියෙන 8103017799 තියෙන මාගේ ගිණුමට ආධාර කරන්න පුළුවන්.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්