ඔලිම්පික් නිලවරණයට බාලගිරි දෝෂයද

  👤  1155 readers have read this article !
Published by : MB WEB 2017-05-16 13:11:00

සිරිනාම රාජපක්ෂ

ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) නිලවරණය ලබන ජූලි මස 31 දාට පෙර පැවැත්විය යුතු යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් ශ්‍රී ලංකාවට දන්වන ලදැයි මින් පෙර වාර්තා වුවද එන්.ඕ.සී.යට අදාළ නව ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය සංශෝධන කටයුතු තවමත් අවසන් කර නැතැයි වාර්තා වේ. එන්.ඕ.සී.ය විසින් අයි.ඕ.සී. වෙත මින් පෙර යවන ලද අදාළ නව ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ඇතුළත් කොට අයි.ඕ.සී. විසින් පසුගිය අප්‍රේල් පළමු සතියේදී නැවත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී.) වෙත එවනු ලැබුවද එම සංශෝධන සහිත කෙටුම්පත සම්මත කරගැනීම සඳහා වන ක්‍රියාවලිය ප්‍රමාද වීම එන්.ඕ.සී. නිලවරණයද ප්‍රමාද වීමට හේතුව බව පැවැසේ.

එනම් එන්.ඕ.සී. නව ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මීළඟ පියවර විය යුත්තේ අයි.ඕ.සී.ය විසින් ශ්‍රී ලංකාවට එවන ලද නව සංශෝධන සහිත කෙටුම්පත ජාතික ඔලිම්පික් කමිටුවට (එන්.ඕ.සී.) අනුබද්ධ සෙසු සාමාජික සංගම් වෙත යවා ඔවුන්ගේ යෝජනාද සහිතව අනුමැතිය ලබා ගැනීමයි. එම පියවරට අදාළ ක්‍රියාවලිය එන්.ඕ.සී. විසින් සිදුකළ යුතු වුවත් එය මෙතෙක් සිදුකර නොතිබීමද මෙකී ප්‍රමාදයට බලපා ඇති ප්‍රධානම හේතුවයි. එබැවින් මේ පිළිබඳව විමසීමට ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඊයේ දුරකතනයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු 'මව්බිම'ට ප්‍රකාශ කර සිටියේ අනුබද්ධිත සාමාජික සංගම්වල නිලවරණ ප්‍රමාද වීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය ඇනහිට ඇති බවයි.

කෙසේ වෙතත් බොහෝ ක්‍රීඩා පරිපාලන සංගම්වල නිලවරණ මැයි 31 දාටත් වඩා ප්‍රමාද විය හැකි බව කී ඔලිම්පික් ලේකම්වරයා "අපේ සාමාජිකත්වය දරන සංගම් විසිපහේම මහ සභා රැස්වීම් තියල අලුතින් කමිටු පත්වන තුරු අපිට බලා ඉන්න වෙනවා. සමහර සංගම්වල විගණන ගිණුම් වාර්තා අස්සන් කරල නැහැ. ඒ නිසා නිලවරණ තවත් ප්‍රමාද වේවි. එම නිලවරණ අවසන් වෙලා සංගම්වල නව නිලධාරීන් පත්වුණාට පසුව අයි.ඕ.සී.යෙන් එවපු අපේ නව ව්‍යවස්ථා කෙටුම්පත ඒ සංගම්වලට යවනවා. එහෙම යවලා එයාලගෙ යෝජනා අදහස් ගැන සාකච්ඡා කරනවා. ඊට පසු අපේ එන්.ඕ.සී. වාර්ෂික මහා සභා රැස්වීමක් කැඳවල එම කෙටුම්පත සම්මත කරගෙන නැවත අයි.ඕ.සී. වෙත යවනවා." යනුවෙන්ද ප්‍රකාශ කළේය.

ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා එසේ මහ සභා රැස්වීමක් පවත්වනවා යැයි සඳහන් කළද මහ සභා රැස්වීමක් පැවැත්විය හැකි මට්ටමක ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවක් පවතිනවා දැයි ප්‍රශ්නයක් මතුවේ. හේතුව ඒ තරමටම වත්මන් එන්.ඕ.සී. පරිපාලනය වැහැරී ඇතැයි සාමාජිකත්වයෙන් චෝදනා එල්ල වී ඇත. එනම් අදාළ සාමාජික සංගම් බලධාරීන් පෙන්වා දෙන්නේ 2013 නොවැම්බර් 27 දා ලුසේන් නුවරදී පැවැති විශේෂ රැස්වීමේදී අයි.ඕ.සී.ය ඉදිරියේ ඇතිකරගත් එකඟතාවන් මේ වන විට එන්.ඕ.සී. බලධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බවයි.

එකල ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් හා එන්.ඕ.සී. නියෝජිතයන් අයි.ඕ.සී. නියෝජිතයන් සමඟ එදින පැවැති සාකච්ඡාවේදී එකඟ වූයේ එතැන් සිට මාස 6 ක කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව සංශෝධනය කොට එන්.ඕ.සී. නිලවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි. තවද මෙකී පාර්ශ්ව තුන එදින අස්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව නැවත එන්.ඕ.සී. නිලවරණයක් පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත්වනතුරු අන්තර් වාර පරිපාලන කටයුතු සඳහා කමිටුවක් පත් කළේය. එම කමිටුව සභාපති හා ලේකම් ඇතුළු 12 දෙනකුගෙන් යුත් එන්.ඕ.සී. නිලධාරි මණ්ඩලයට පැවරිණි.

උප සභාපතිවරුන් 6 දෙනෙක්, භාණ්ඩාගාරික උප භාණ්ඩගාරික හා සහකාර ලේකම්වරුන් දෙදෙනෙක්ද ඊට ඇතුළත් වූ අතර එදා අයි.ඕ.සී. ඉදිරියේ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ පරිදි මෙකී ප්‍රධාන කමිටුවේ (12 දෙනාගේ) ප්‍රථම රැස්වීම 2014 පෙබරවාරි 13 දාට යොදාගෙන තිබිණි. ඒ සඳහා රැස්වීමට අදාළ න්‍යාය පත්‍රයද සමඟ ප්‍රධාන ලේකම්වරයා විසින් සියලුම සාමාජිකයන් හට දැනුම් දෙන ලද නමුත් ඊට දින කිහිපයකට කලින් හදිසියේම එම රැස්වීම අවලංගු කළේය. එසේ රැවටීම් කොට පරිපාලනය කඩාකප්පල් කරන ලද වත්මන් එන්.ඕ.සී. නිලධාරීන් අද අයි.ඕ.සීයද නොමඟ යවමින් සිටින බවටද ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වී ඇත. 2011 න් පසුව එන්.ඕ.සී. ගිණුම් වාර්තා විගණකාධිපතිවරයා විසින් අනුමත කරවාගෙන නොමැති බවද ඒ අතර ප්‍රධාන චෝදනාවකි. එදා මෙදා කාලය තුළ නිසි ගනපූරණයකින් විධායක සභා රැස්වීමක් පවත්වා නැති බවත් සභාපති හා ලේකම් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකුගේ අභිමතය පරිදි එන්.ඕ.සී. පරිපාලනය පවත්වාගෙන යන බවටත් චෝදනා එල්ල වී ඇත.

විධායක සභාව වෙනුවට කළමනාකරණ කමිටුවක් (Management Committee) නම් එකක් අටවා ගෙන එන්.ඕ.සී. පරිපාලනය ගෙන යන්නට උත්සාහ කළද පසුගිය 2016 රියෝ ඔලිම්පික් උළෙලට අදාළව ගිණුම් විගණනය කළ යුතු යැයි යෝජනාවක් ගෙන ඒමෙන් පසුව එම කමිටුවද කඩාකප්පල් වී ඇති බවත් දැනගන්නට ඇත. ඩොලර් මිලියන ගණනින් එන්.ඕ.සී.යට ලැබෙන මුදල් සමඟ විගණනයකින් තොරව කටයුතු කිරීම තුළ සිදුවන අක්‍රමිකතා සම්බන්ධ ප්‍රශ්න කිරීම නිසා එකී කළමනාකරණ කමිටුවද මාස දෙකකින් පමණ රැස්වී නැතැයි පැවැසේ. ඒ නිසා මෙවන් තත්ත්වයක් තුළ එන්.ඕ.සී. මහ සභා රැස්වීමක් පවත්වන්නේ කෙසේදැයි සාමාජිකත්වය විමසා සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්