ලෝකෙටම ලොකු ඉබ්බා ලුණුගම්වෙහෙර ඉබ්බා

  👤  1706 readers have read this article !
Published by : MB WEB 2017-05-16 16:41:53

ලොව ලොකුම තාරකා ඉබ්බා නැතහොත් තරු ඉබ්බා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමුවීම පසුගිය දිනවල බොහොමයක් මාධ්‍යවලට උණුසුම් පුවතක් විය.

ඒ සමඟම වනජීවී විෂයට උනන්දුවක් දක්වන පිරිස් මේ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කළ්ය.

ඉබ්බන්ගේ විශේෂත්වය වන්නේ මිහිමත වැඩිම ආයු කාලයක් ජීවත්වන සත්ත්වයා වීමයි. යෝධ ඉබ්බන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 150ක් පමණ වන බව සඳහන් වන අතර වසර 250ක් ජීවත් වූ යෝධ ඉබ්බන් ගැන ද වාර්තා වේ. නමුත් යෝධ ඉබ්බන් අපේ රටේ නොමැත.

ගල් ඉබ්බා, කිරි ඉබ්බා සහ තරු ඉබ්බා (තාරුකා ඉබ්බා) ලෙස ලංකාවේ ඉබි විශේෂ තුනක් සිටී. මෙයින් ගල් ඉබ්බන් සහ කිරි ඉබ්බන් තෙත් සහ වියළි කලාප දෙකෙහිම දැකගත හැකි අතර වැඩිම ව්‍යාප්තියකින් යුත් ඉබි විශේෂය වන්නේ ගල් ඉබ්බන්ය.

නමුත් තරු ඉබ්බා වාසය කරන්නේ වියළි කලාපයීය ප්‍රදේශවල පමණි. තරු ඉබ්බා නැතහොත් තාරුකා ඉබ්බා පෙනුමින් ලස්සනය. පිටකට්ටෙහි කළු සහ කහ පැහැයෙන් යුත් තරු සලකුණු දක්නට ලැබෙන බැවින් උෟට ඒ නම ලැබී තිබේ.

තරු ඉබ්බාගේ ජෛව විද්‍යාත්මක නාමය ට්ඥධජඩඥතධදඥ ඥතඥඨචදඵ වේ. උප විශේෂ නොමැත. ඉන්දියාවේ තමිල්ණාඩු, කර්ණාටක, ආන්ද්‍රාප්‍රදේශ්, ඔරිස්සා ආදී ප්‍රදේශවලත් පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේත් ජීවත් වේ.

වයස අවුරුදු 8දී පමණ ලිංගිකව පරිණත වන තරු ඉබ්බිය වසරකට දෙවරක් පමණ වරකට 2-6 අතර සංඛ්‍යාවක් බිජුලන්නීය.

තරු ඉබ්බා ශාක භක්ෂකයෙක් වුවත් ඉතා කලාතුරකින් මිය ගිය කුඩා සතුන්ගේ සිරුරු කොටස් ආහාරයට ගන්නා බවද වාර්තා වී තිබේ. මෙම ඉබ්බන් ප්‍රධාන වශයෙන්ම පොළොව මත වැවෙන කුඩා පැලෑටිවල දලු, කොළ බිම වැටී ඇති මල් වර්ග ගෙඩි, පලතුරු ආහාරයට ගනී. එමෙන්ම වගා බිම්වල ඇති එළවළු හේන්වල ඇති කව්පි මුං ආදී පැළෑටිවලට මෙන්ම එහි අස්වැන්නට ද වග කියති.

වනජීවී නිලධාරියකුට සතුන් පිළිබඳ දැනුම මෙන්ම ඒ පිළිබඳව ගවේෂණයට කැමැත්තක්ද තිබිය යුතුය. රංග විජේරත්න යනු ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අනුයුක්තව සේවය කරන දැනුම මෙන්ම ගවේෂණයටද කැමැත්තක් දක්වන වනජීවී නියාමක නිලධාරියෙකි.

දිනය පසුගිය අප්‍රේල් මස 30 වැනිදාය. එදින පස්වරුවේ රංග තවත් නිලධාරියකු ද සමඟින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට මීටර් 200ක් පමණ ඔබ්බෙන් පිහිටි කලුගල්පොළ නමින් හැඳින්වෙන කුඩා වැවක ඉස්මත්තෙහි ගමන් කරමින් සිට තිබේ. මෙහිදී එකවරම ඔහුගේ නෙත ගැටුණේ අසාමාන්‍ය විශාලත්වයකින් යුත් තාරුකා ඉබ්බෙකි. තණමල්විල, ලුණුගම්වෙහෙර ආදී ප්‍රදේශවල තරු ඉබ්බන් නිතර දක්නට ඇති අතර නිලධාරීන්ට තරු ඉබ්බෙකු දැකීම අරුමයක් නොවේ.

ඉබ්බා මඟ හැර තම ගමන යෑමට ඉඩකඩ තිබුණද නැවත වරක් සුපරික්ෂාකාරී වීම නිසා ලොව ලොකුම තරු ඉබ්බා තමන් සේවය කරන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙහි වෙසෙන්නේ යැයි අනාවරණය කිරීමට රංගට හැකි විය.

හතර වටින්ම ගොම්මන් අඳුර මෝදු වෙමින් තිබිණි. දෑතින්ම ඉබ්බා ඔසවා ගත් රංග උද්‍යාන මූලස්ථානය වෙත තිබූ මීටර් දෙසීයක පමණ දුර ගමන් කළේ චකිතයකින් මෙන්ම දෙගිඩියාවකිනි. ඉබ්බන් දැක පුරුදු ඔහුට මේ ඉබ්බා ලංකාවේ ලොකුම ඉබ්බා විය හැකි බවට සැකයක් සිත තුළ ජනිත වී තිබිණි. අනෙක් අතට උද්‍යානයේ නිදහසේ ගැවසුණු සතකු අල්ලා රැගෙන ඒම නීත්‍යනුකූලද මෙයින් තමන්ගේ රැකියාවට ගැටලුවක් ඇතිවේද යන සිතිවිල්ලද ඔහු තුළ තිබිණි.

කෙසේ හෝ ඉබ්බාව කාර්යාලය අසලට රැගෙන ආ හෙතෙම නියෝජ්‍ය උද්‍යාන භාරකරු ගුණතුංග මහතාට ඒ පිළිබඳව දැන්වීය. ලුණුගම්වෙහෙර උද්‍යාන භාරකරු චින්තක අබේරත්න මහතා එදින නිවාඩු ගොස් තිබිණි. උෟව පළාත් භාර වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ නිල නිවෙස පිහිටියේද කාර්යාලය අසලය. රංග ඉබ්බාව මුලින්ම පෙන්වූයේ ධර්මකීර්ති මහතාටය. පලපුරුදු වනජීවී පශු වෛද්‍යවරයකු වූ හෙතෙම ඉබ්බාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව සතාගේ දිග, පළල, වටරවුම, බර ආදියෙහි මිනුම් රැගෙන සතා නිදහස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

කිරුම් මිනුම් සිදු කිරීමෙන් පසුව සතාව නැවත වනයට නිදහස් කිරීම වෙනුවට රංග කළේ උෟව කාර්යාල පරිශ්‍රයේම පිහිටි කොටුවක තාවකාලිකව රඳවා තැබීමයි. ඉබ්බාව නිකම්ම යළිත් කැලයට නිදහස් කිරීමට ඔහුට සිත දුන්නේ නැත. ඒ මීට වඩා ලොකු තරු ඉබ්බකු නොසිටිනු ඇතැයි ඔහුට තිබූ තදබල විශ්වාසය හේතුවෙනි. උද්‍යාන ජේ‍යෂ්ඨ නිලධාරීන් මාර්ගයෙන් හෙතෙම මෙම ඉබ්බා පිළිබඳ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා පුහුණු අංශයටත් ජේ‍යෂ්ඨ පරිසරවේදී සහ උරග විශේෂඥ ඇන්ස්ලම් ද සිල්වා මහතාටත් දැන්වීය. වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නිලධාරීන් සතා පරීක්ෂා කර බැලීමට නොපැමිණියත් ඉන් දින කිහිපයකට පසුව එහි පැමිණි ඇන්ස්ලම් ද සිල්වා මහතා විසින් සිදු කළ මිනුම් සහ විශ්ලේෂණයකින් අනාවරණය වූයේ මෙම ඉබ්බා මෙතෙක් හමු වී ඇති ලොව ලොකුම තාරුකා ඉබ්බා බවයි.

හොඳින් වැඩුණු තරු ඉබ්බෙකුගේ දිග සෙන්ටිමීටර් 25-30 පමණද බර කිලෝ 5-6 පමණ ද වන බව සඳහන් වේ. දැනට වාර්තා වී ඇති ලොකුම තාරුකා ඉබ්බාගේ දිග සෙන්ටිමීටර් 38කි. නමුත් රංග විසින් සොයා ගන්නා ලද තරු ඉබ්බා දිගින් සෙන්ටිමීටර් 45ක්ද බරින් කිලෝ 14ක් ද විය. ඒ අනුව තරු ඉබ්බන්ගේ ලෝක වාර්තා පොත දැන් අලුත් කිරීමට සිදුව තිබේ.

ලොව ලොකුම තරු ඉබ්බා පිළිබඳව පසුගිය දිනවල වනජීවී විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින්ද නිතර විමසීම් කර තිබිණි. උරග විශේෂඥ ඇන්ස්ලම් ද සිල්වා මහතා විසින් මෙම තරු ඉබ්බාට අවශ්‍ය නිදහස් පරිසර පද්ධතියක් ලබාදී අභිජනන කටයුතු සඳහා යොදා ගැනීමට යෝජනා කර තිබිණි. නමුත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සරත් පතිරත්න මහතාගේ අදහස වූයේ කැලයේ නිදහසේ සිටි සතා නැවත ඒ කැලයටම මුදා හළ යුතු බවයි. ඒ අනුව පසුගිය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී මෙම යෝධ ඉබ්බාව ආපසු උෟ සිටි කැලයටම යැවීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

තාරුකා ඉබ්බන් අල්ලා අලෙවි කිරීම දැවැන්ත වනජීවී ජාවාරමකි. අලංකාර ඉබි විශේෂයක් නිසා එම සතුන් අල්ලා ඉතා ඉහළ මිල ගණන්වලට විදේශ රටවලට අලෙවි කිරීම සිදු කරයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙම නීති විරෝධී වෙළෙදාමේදී ශරීර ප්‍රමාණයෙන් කුඩා තරු ඉබ්බෙකු අලෙවි වන්නේ රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලකටය.

තරු ඉබ්බා දැඩි ලෙස ආරක්ෂිත උරග විශේෂ දහසයෙන් එකෙක් වන අතරම වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙසද ජාතික රතු දත්ත පොතට ඇතුළත් කොට තිබේ.

කුඩා ප්‍රමාණයේ තරු ඉබ්බෙකුගේ මිල රුපියල් ලක්ෂයකට අධික නම් ලොව ලොකුම තරු ඉබ්බාගේ වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකිය. වනයට මුදා හරින ලද ඉබ්බාගේ තොරතුරු සතියකට වරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර ඇත්තේ මේ නිසාවෙන් වන්නට ඇත. තරු ඉබ්බන් වඳ වී යෑමට ප්‍රධානම හේතුව වී ඇත්තේ වියළි ලඳු කැලෑවලින් යුක්ත පරිසර පද්ධති ශීඝ්‍රයෙන් එළිපෙහෙළි වීමයි.

සපුමල් ජයසේන
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්