'ලොකු අයිය' යවපු චන්ද්‍රිකාවෙ වැඩ කිඩ

  👤  1308 readers have read this article !
Published by : MB WEB 2017-05-16 16:03:48

දකුණු ආසියානු කලාපයේ "ලොකු අප්පච්චි" වීමට ඉන්දියාව දරන උත්සාහයට විශාල දායකත්වයක් දැක්වීමට එරට අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට හැකි වී ඇත. පසුගියදා සාර්ථක ලෙස කක්‍ෂගත කරන ලද දකුණු ආසියානු කලාපීය චන්ද්‍රිකාව නැවත ලොවට සිහිපත් කර ඇත්තේ එම කාරණයයි.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Indian Space Research Organisation හෙවත් ISRO) ඉකුත් 5 වැනි සිකුරාදා කක්‍ෂගත කරන ලද චන්ද්‍රිකාව හැඳින්වෙන්නේ දකුණු ආසියානු චන්ද්‍රිකාව (South Asia Satellite) යනුවෙනි.

දකුණු ආසියානු චන්ද්‍රිකාව ලෙස කලාපයට අයත් සියලු රටවල් සඳහා පොදු චන්ද්‍රිකාවක් කක්‍ෂගත කිරීමේ අදහස මුලින්ම ඉදිරිපත් වන්නේ 2014 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති දකුණු ආසියානු කලාපීය සහයෝගිතාව හෙවත් සාර්ක් (SAARC) සමුළුවේදීය. ඉන්දීය තාක්‍ෂණික විශේෂඥයන්ගේ හැකියාව කලාපයේ අනෙක් රටවල් සමඟ බෙදා හදාගැනීමට ඇති කැමැත්ත මෙම යෝජනාවේ අරමුණ බව ඉන්දීය අගමැතිවරයා විසින් සඳහන් කෙරිණි.

කලාපයේ රටවල් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් හත ඉන්දියාවේ යෝජනාව සමඟ එකඟත්වයෙන් කටයුතු කරද්දී මුල දී යම් කැමැත්තක් පෙන්නූ පාකිස්තානය පසුව ඉන්දීය යෝජනාව පිළිබද ප්‍රශ්න නැඟීම ආරම්භ කළේය.

දකුණු ආසියානු චන්ද්‍රිකාව කලාපයේ අනෙකුත් රටවලට ඉන්දියාව ලබාදෙන තෑග්ගක් ලෙස හැඳින්වූ ඉන්දියානු අගමැති මෝඩි ඒ සඳහා යන සම්පූර්ණ වියදම ඉන්දියාව දරන බව සඳහන් කළේය. කලාපයේ අනෙකුත් රටවල් මෙම කාරණය බරපතළ ලෙස ගණන් නොගත්තද එය බරපතළ ලෙස ගැනීමට පාකිස්තානයට කරුණු කාරණා විය. වසර ගණනාවක් තිස්සේ ඇදෙන ඉන්දීය-පාකිස්තානු විරසක භාවය මෙන්ම මෑත කාලීනව කරළියට ආ ගැටුම් හා ආරක්‍ෂක හේතූන් ද ඒ අතර විය.

දකුණු ආසියානු සහයෝගිතා සමුළුවේ කාර්යයක් ලෙස දක්වමින් ඉන්දියාව තනිව චන්ද්‍රිකාවක් කක්‍ෂගත කිරීම නොඉවසන බව පාකිස්තානය අඟවන්නට විය. සාදන චන්ද්‍රිකාවේ පාර්ශ්වකරුවන් වීමට පාකිස්තානයට ඇවැසි විය. ඒ සඳහා මුදල් යෙදවීමට ද සූදානම් බව දැනුම් දෙන ලදී. මේ මතභේදකාරිත්වය තුළ පාකිස්තානය අතහැර අනෙකුත් රටවල් සමඟ තම අභ්‍යවකාශ ඉලක්කය සපුරා ගැනීමේ කටයුතු ඉන්දියාව විසින් ඉදිරියට ගෙන යන්නට වූයේ පාකිස්තානයේ යෝජනාව ඉන්දීය පාර්ශ්වයෙන් ප්‍රතික්‍ෂේප වීමත් සමඟය.
පාකිස්තානය නැති "දකුණු ආසියානු චන්ද්‍රිකාවක්" ඉන්දීය පෙළොවේ සිට කලාපීය රටවල පොදු චන්ද්‍රිකාවක් ලෙස කක්‍ෂගත වන්නේ මෙම පසුබිම තුළය.

අභ්‍යවකාශ විද්‍යාව අතින් තමන් තරම් ශක්තිමත් නැති දකුණු ආසියානු කලාපයේ සහෝදර රටවල් ගැන අනුකම්පාවෙන් හා ආදරයෙන් යුතුව තනිකරම තම වියදමින් සාදා ඉන්දියාව පසුගියදා කක්‍ෂගත කළ දකුණු ආසියා චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 2230කි. එයට සන්නිවේදන ප්‍රතිග්‍රාහක (Transponders) 12ක් ඇතුළත්ය. මෙය අභ්‍යවකාශය කරා ගෙන යන් ලද්දේ GSLV-F09 යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන Geosynchronovs Satellite Launch Vehicle යන චන්ද්‍රිකා ප්‍රවාහකය මඟිනි. දකුණු ආසියානු චන්ද්‍රිකාවේ අභ්‍යවකාශ නාමය වන්නේ GSAT-9 යි. එය වසර 12ක කාලයක් සන්නිවේදන මෙහෙවරේ නියැළීමට නියමිතය. එම මෙහෙවරේදී KU-band නමින් හඳුන්වන තාක්‍ෂණය යොදා ගනු ඇති අතර දකුණු ආසියානු කලාපයේ ස්වාභාවික සම්පත් සිතියම් ගත කිරීමට තොරතුරු තාක්‍ෂණ සම්බන්ධතාවක් ඇති කිරීමට මෙන්ම දුරස්ථ අධ්‍යාපන (eleeducation) දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර (eleeducation) වැනි කටයුතු සඳහා දකුණු ආසියානු චන්ද්‍රිකාව දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම චන්ද්‍රිකාව geostationary orbit හි සිට 48ධක් නැඟෙනහිරට වන්නට ස්ථානගත කොට ඇත.

කලාපය පුරා ගවේෂණයට හා සන්නිවේදනයට දකුණු ආසියානු චන්ද්‍රිකාවට ඇති හැකියාව "ඔත්තු සේවාව" සඳහා යොදාගනු ඇති බවටද පාකිස්තානයෙන් සැක පහළ කරනු ලැබ තිබිණි. මෙම සැකය ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයන් විසින් බැහැර කර ඇත්තේ තාක්‍ෂණය මෙතරම් දියුණු යුගයක ඔත්තු බැලීමට අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකා යොදා ගැනීමට අවශ්‍ය නොවන බව පවසමිනි.

කෙසේ වුවද ඉන්දියාව මගින් කක්‍ෂගත කරනු ලැබූ GSAT-9 හෙවත් දකුණු ආසියානු චන්ද්‍රිකාව දුරකතන සන්නිවේදන, ආපදා කළමනාකරණ හා කාලගුණ අනාවැකි ආදී වූ අංශ සඳහා දායකත්වය ලබාදෙනු ඇතැයි සැලකේ. ලෝක ජනගහනයෙන් 1/5ක් පමණ ජීවත්වන දකුණු ආසියානු කලාපයේ රටවලට නිවර්තන සුළි සුළං, උණුසුම් දිය ධාරා, සුනාමි, භූකම්පන හා නාය යෑම් හා ජල ගැල්මෙන් විඳින්නට වෙන ගැහැට අවම කර ගැනීමට හා ආපදා කළමනාකරණයට ඉන් සේවාවක් සැලසෙන්නේනම් එය එම ජනගහනයට පිටිවහලක් වනු නොඅනුමානය.

එසේ නමුත් ආසියානු කලාපය තුළ අභ්‍යවකාශ ගමන් හා අභ්‍යවකාශ යානා කක්‍ෂගත කිරීමේ හැකියාව ඇති එකම රට වන ඉන්දියාව එම ක්‍ෂේත්‍රයේ තවත් යෝධ පිම්මක් තබා ඇති බව පැහැදිලිව පෙනේ. මෙහිදී ඉකුත් දෙසැම්බරයේ දී PSLV 37 නම් එක් රොකට්ටුවකින් කුඩා චන්ද්‍රිකා 104ක් කක්‍ෂගත කරමින් ඉන්දියාව අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ තැබූ වාර්තාව ද සිහිපත් වෙයි.

ඉන්දියාව එදිරිවාදී පාකිස්තානය තවමත් අභ්‍යවකාශ කටයුතුවලදී උදව් ලබාගන්නේ චීනයෙනි. ඒ ආකාරයෙන් බලන විට ඉන්දියාව නැඟී එන චීන බලයට පැහැදිලි අභියෝගයක් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහන් සඳහා යන වියදම සමඟ සස¼දා බැලූ කල ඉන්දියාවේ අභ්‍යවකාශ ප්‍රක්ෂේපණය සඳහා වැය වන්නේ සාපේක්‍ෂව ඉතා අඩු වියදමකි. මේ හේතුව නිසාම අභ්‍යවකාශ ප්‍රක්ෂේපණ ඉතා හොඳ වෙළෙඳපොළක් නුදුරු අනාගතයේම ඉන්දියාවට විවර වනු නොඅනුමානය.

රු කාරියවසම්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්