වයස අසූදෙකේ ඇමති, විභාගය සමත්

  👤  1780 readers have read this article !
Published by : MB WEB 2017-05-17 15:01:12

දූෂණ චෝදනාවලට වරදකරු කරනු ලැබ සිරබත් කමින් සිටින අසූ දෙහැවිරිදි හිටපු මහඇමති වරයෙක් පාසල් හැරයාමේ විභාගය සමත් වූ බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මහඇමතිවරයා හැටියට හතර වතාවක් කටයුතු කළ ඕම් ප්‍රකාශ් චෞතලා (Om Prakash Chautala) දිල්ලි අගනුවර ටිහාර්(Tihar) බන්ධනාගාරයේ දී දොළහ වසර පාසල් හැරයාමේ විභාගයට පෙනීසිට ඇති අතර ඔහු ඉන් සමත් වී ඇත.

සිර ජීවිතය ගෙවන අතරවාරයේ වඩාත් අර්ථවත් දෙයක් සිදු කිරීමට සිය පියා තීරණය කළ බව හිටපු මහ ඇමතිවරයාගේ පුත්‍රයා වන අභායි චෞතලා පවසයි.

ඕම් ප්‍රකාශ් චෞතලා සිරගත කරනු ලැබුණේ ඔහු බලයේ සිටියදී ගුරුවරුන් බඳවා ගැනීමේ දී අනිසි ක්‍රියා සිදු කරන ලද බවට එල්ල වූ චෝදනාවලට වැරදිකරු බව අධිකරණය විසින් තීන්දු කිරීමෙනි.

තම පියා සිරගෙය තුළ පිහිටි පුස්තකාලය දිනපතාම පාවිච්චි කළ බවත් අභායි චෞතලා පවසයි.

"මගේ පියා පොත්පත් පුවත්පත් කියවනවා. ඔහු කැමති පොත්පත් බන්ධනාගාර කාර්ය මණ්ඩලය මගින් ලබා ගත්තා. ඔහු ලෝකයේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිත කියෙව්වා" අභායි චෞතලා තවදුරටත් සඳහන් කරයි.

1999 -2000 අතර කාල වකවානුවේ ගුරුවරුන් බඳවා ගැනීමේ ව්‍යාපෘතියක දී ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු මහඇමති ඕම් ප්‍රකාශ් චෞතලා ඇතුළු තවත් පනස් හතර දෙනකු වරදකරුවන් කරනු ලැබුණි.

චූදිතයන් ගුරු පදවි සඳහා අල්ලස් ලබා ගනිමින් නුසුදුසු පුද්ගලයන්ට අනුග්‍රහ දැක්වීමෙන් මනා යෝග්‍යතාවක් සහිත පුද්ගලයන්ට අසාධාරණයක් සිදු වූ බව එම නඩුවේ පැමිණිල්ලේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ඕම් ප්‍රකාශ් චෞතලා ඉන්දියාවේ ජාතික ලෝක් දාල් පක්ෂයේ නායකයා විය.

ඔහු හිටපු නියෝජ්‍ය අගමැති දේව් ලාල් ගේ පුත්‍රයෙකි.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්