එක්සත් අරාබි එමීර් පිලත් පරදවමින් ශ්‍රී ලංකා පිල තවත් ඉදිරියට

  👤  810 readers have read this article !
Published by : MB WEB 2017-05-18 14:21:41

සිරිනාම රාජපක්‍ෂ

ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයෙන්ද ඊයේ ජයග්‍රහණය වාර්තා කළ අතර, එම ජයග්‍රහණය අත්කර ගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 33ට 17ක් ලෙස පරාජයට පත්කරමිනි.

සත්කාරක මලයාසියාව, පිලිපීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් මලයාසියාවේ අයිපෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදීද ඊයේ ශ්‍රී ලංකා පිල ගෝල දිනුම් 2ක් හා උත්සාහක දිනුම් 2ක් හා දඬුවම් පහර 3ක් මඟින් ලකුණු රැස් කළේය. එහෙත් තරගයේ නියමිත කාලය අවසානයේදී ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට ලබාගැනීමට හැකි වූයේ ගෝල 2ක් හා දඬුවම් පහරක් මඟින් ලකුණු 17ක් පමණි.

තරගයේ පළමු භාගයේ පළමු මිනිත්තුව ගෙවී යන්නටත් පෙර ෆසිල් මරිජා වාර්තා කළ උත්සාහක දිනුමෙන් පළමු ලකුණු 5 ශ්‍රී ලංකා පිල වෙතින් වාර්තා වූ අතර, ඉන් පසුව 20වැනි මිනිත්තුවේදී ධනුෂ්ක රංජන් අතින්ද උත්සාහක දිනුමක් වාර්තා විය. ඒ සමගම පළමු භාගය තුළදී තිළිණ විජේසිංහ විසින් දඬුවම් පහර 3කින්ම ලකුණු ලබා ගන්නා ලද අතර තරගයේ පළමු භාගය අවසානයේ 19-17ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියේය.

එසේ පළමු භාගය තුළදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ද ගෝල දෙකක් හා දඬුවම් පහරක් ඇසුරෙන් ලකුණු රැස් කළද ඔවුන්ට තරගයේ දෙවැනි භාගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ලකුණක් වාර්තා කිරීමට නොහැකි වීමද විශේෂත්වයකි.

ඒ අනුව පළමු භාගයේදී ලද රිද්මය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තවත් ශක්තිමත් කරන්නට දෙවැනි භාගයේදී උත්සාහක දිනුම් ලබාගනිමින් ජේසන් දිසානායක හා කී ලීගල් දායක වූ අතර, එහි ප්‍රවර්තනයන්ද සාර්ථක කරගන්නට තිළිණ විජේසිංහ සමත්විය.

ශ්‍රී ලංකාව සහභාගි වන 3වන හා අවසාන තරගය ලබන සෙනසුරාදා (20දා) මලයාසියාවට එරෙහිව පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්