හොඳම සම්මානයත් එක්ක පුබුදුගේ ආදර සම්මානයත් එළියට

  👤  2245 readers have read this article !
Published by : MB WEB 2017-07-09 16:01:54

රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය දැන් පුබුදුගේ අතේ. ඒ ගැන සතුටෙන්ද ආඩම්බරයෙන්ද ඉන්නේ?

සම්මානයක් කියන දේ මම සලකන්නේ ආභරණයක් විදියට නෙවෙයි. ආවරණයක් විදියට. කටුකොහොල්වලින් පිරිච්ච මාවතක යන අපිට සම්මානයක් කියන්නේ ක්‍ෂේම භූමියක් වගේ.

One way ටෙලි නාට්‍යයේ ඩොක්ටර් තේජන ඔබව මේ සම්මානය වෙනුවෙන් ඔසවා තබයි කියලා හිතුවද?

නිර්මාණයක් කරද්දී සම්මානයක් කෙසේ වෙතත් මම ඒ කරන චරිතයට විශාල කැපකිරීමක් කළා. මනෝ වෛද්‍ය තේජනගේ චරිතය වෙනුවෙන් මට ශරීරයේ බර වැඩි කර ගන්න වුණා. වෙහෙසකර පෙනුමක් තියාගන්න මහන්සි වෙන්න වුණා. මනෝ විද්‍යා විෂය ගැන මම හැදෑරීම් කළා. මනෝ වෛද්‍යවරයාගේ සංකීර්ණ චරිත ලක්‍ෂණ නිරූපණය කරන්න අවශ්‍ය පසුබිම මම නිර්මාණය කර ගත්තා. මම මායා චිත්‍රපටය කළෙත් මේ කාලේ.

මේ චරිත දෙකට ශරීරයේ බර අඩු වැඩි කරගන්න මම මහන්සි වුණා. මේ චරිතය කරලා ටික දවසක් යනකල් මම වැඩ භාරගත්තේ නැහැ. මොකද ඒ චරිතය මගේ ඇඟ ඇතුළේ තිබ්බ නිසා. චරිතය කරලා ඉවර වෙද්දී චරිතය ගැන මම සංතෘප්ත වෙලා හිටියේ.

ඒ චරිතය වෙනුවෙන් සම්මානයක් නොලැබුණත් ඒ සංතෘප්ත බවෙන් පුබුදු සෑහීමකට පත් වෙයිද?

ඔව්. මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද මේ වගේ චරිත ලැබෙනවා අඩුයි. මේ වගේ යමක් කරන්න චරිත ලබුණම අපි තෘප්තිමත් සම්මානයක් කියන්නේ ඊට අතිරේකව ලැබෙන උත්ප්‍රේරකයක්.

ලංකාවේ සම්මාන උළෙලවලදී සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ කියලා සමහරුන්ගේ විවේචන තියෙනවා. සම්මානනීය වුණු ඔබට සම්මාන උළෙල ගැන විවේචන නැද්ද?

මටත් සම්මාන නොලැබී ගිය අවස්ථා තියෙනවා. එහෙම වුණා කියලා මම සම්මාන උළෙලට වැරැදි කියන්නේ නැහැ. සම්මානයක් දෙන්නේ එක්තරා ජූරියක සාපේක්‍ෂ තීරණයක් මත. සමාජය තීරණය කරනවා ඒක ලැබුණේ හරි කෙනාටද වැරැදි කෙනාටද කියලා. සාපේක්‍ෂ ජූරියකින් සම්මානයක් දුන්නම අපිට ඒක ප්‍රශ්න කරන්න බෑ. හොඳ ජූරියකින් හොඳ තීරණයක් ලැබෙන්න පුළුවන්. හොඳ නැති ජූරියකින් ඊට වෙනස් තීරණයක් ලැබෙන්නත් පුළුවන්. මේ සම්මාන උළෙලේ නම් හොඳ විනිශ්චය මණ්ඩලයක් හිටියා.

ඔබට මේ සම්මානය ලැබීම ගැන හැමෝම සතුටු වෙන්න ඇතිද?

මට මේ සම්මානය ලැබුණට අති විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. ගොඩක් අය මට මේ සම්මානය ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ. ෆේස්බුක් එකෙන් ලැබෙන ප්‍රතිචාරවලිනුත් ඒක හොඳටම තහවුරු වෙනවා. ඔවුන් මං වෙනුවෙන් තියාගෙන හිටපු විශ්වාසය වෙනුවෙන් මම ඔවුන්ට ස්තූති කරනවා.

දැන් පුබුදුගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඉන්නවා. සම්මාන උළෙලෙදී පුබුදුගේ සම්මානය වගේම පුබුදු එක්ක හිටපු විශේෂ කෙනා ගැනත් බොහෝ අයගේ අවධානය යොමු වෙලා. ඇය ගැන කියන්න කාලය හරි නේද?

ඇත්තටම කොච්චර අවධානය යොමු වෙලාද කියනවා නම් ඇය දැන් මට වඩා ජනප්‍රියයි. ඇයට ජනප්‍රිය වීමේ ගති ලක්‍ෂණ තියෙන්නේ. ඇගේ රූපය, ගතිගුණ නිසා ඒ ජනප්‍රියත්වය ඇයට ඉබේම ලැබෙනවා. ඇය හරිම සතුටින් කාලය ගත කරන සුන්දර කෙනෙක්.

ඔය සුන්දරත්වයටද පුබුදුගේ හිත ගියේ?

ඇගේ බාහිර ස්වරූපය වගේම ඇගේ ගතිගුණවලටත් මම කැමැතියි. ඉතාම සාමාන්‍ය හොඳ කෙනෙක් ඇය. හොඳ අධ්‍යාපන පසුබිමකුත් ඇයට තියෙනවා. මේ හැම කාරණයක් නිසාම වෙන්න ඇති මම ඇයට ආකර්ෂණය වෙන්න ඇත්තේ.

ඇයව සම්මාන උළෙලට එක්ක ගියේ ආදරය ප්‍රකාශ කරන්නමද?

අපි පළමුවැනි වතාවට තමයි සම්මාන උළෙලකට එකට සහභාගි වුණේ. අපි දෙන්නටම එදා නිවාඩු දවසක් නිසා දෙන්නම සම්මාන උළෙලට සහභාගි වුණා. සම්මානය ගැන මටත් වඩා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ ඇය. ඇගේ බලාපොරොත්තුවට කෘතගුණ සලකන්න හිතාගෙන තමයි වේදිකාවේදී ඇයට ආදරය ප්‍රකාශ කළේ.

දැන් දෙන්නා එකලාසයක් වෙන්නේ කවද්ද?

ලබන වසරේදී විවාහය සිද්ධ වෙයි.

කාලයක් ඔබ කිව්වා ටෙලි තිරයෙන් ඉවත් වෙනවා කියලා. හැබැයි පුබුදු ආයෙත් ටෙලි තිරයේ ඉන්නවා. මොකක්ද හේතුව?

මම ඒ කිව්ව කාලයේ ටෙලි නාට්‍ය කළේ නෑ. කාලයක් එක්ක කඩා වැටිච්ච දේවල් ඉහළට ඔසවා තබන්න පිරිසක් නිර්මාණය වෙමින් ඉන්නවා. ටෙලි නාට්‍යයත් දැන් ඉහළට එසවෙමින් තියෙනවා. ඒ නිසා වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන මාධ්‍ය තුනෙන්ම මාරුවෙන් මාරුවට ප්‍රේක්‍ෂකයන් අතරට එන්න මම කැමැතියි.

පුංචි තිරයේ, රිදී තිරයේ අලුත් වැඩකටයුතු සැලසුම් කරගෙන තියෙනවාද?

අනුරුද්ධ ජයසිංහගේ 'එක දවසක් අපි' චිත්‍රපටයට සම්බන්ධ වුණා. 'මා' චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙනවා. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණය කරන 'ගිරිවැසිපුර' චිත්‍රපටයටත් සම්බන්ධ වෙනවා. 'මෝදර බඹරු' ටෙලි නාට්‍යයේ රංගන කටයුතු පටන් ගන්න ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්