වේදිකාවේ ඉඳන් ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා

  👤  3187 readers have read this article !
Published by : MB WEB 2017-07-10 15:28:19

හංග හංග හිටපු පෙම් කතාව හැමෝම දැන ගත්තා නේද?

ඔව්නේ. අපේ ආදරේ එළිවුණානේ.

පුබුදුත් එක්ක තිබ්බ පෙම් කතාව නිමාෂා කාලයක් වහන් කළා. ඇයි ඒ?

මම පෞද්ගලිකත්වයට කැමැතියි. පුබුදු අයියයි මමයි එකට යද්දී ගොඩක් අය හිතන්නේ අපි දෙන්නා අයියයි නංගියි කියලා. අපේ මුහුණුවර එක වගේ කියලා තමයි ගොඩක් අය කියන්නේ. මමත් ඒ විදිහටම හිතන්න දුන්නා.

පුබුදු රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී හැමෝම ඉදිරියේ ආදරය ප්‍රකාශ කරද්දී මොකද හිතුණේ?

එයා ඒ වගේ වචන ටිකක් වේදිකාවේදී කියයි කියලා මම හිතුවේවත් නෑ. එතැනදි ආදරේ ප්‍රකාශ කරද්දි මම පුදුම වුණා. ඒ වෙලාවේ මටත් හිතා ගන්න බැරි තරම් සතුටක් දැනුණේ.

පුබුදුගේ සම්මානය ගැන නිමාෂා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා ආරංචියි?

හොඳම නළුවාට හිමි සම්මානයට දක්‍ෂයන් පිරිසක් තමයි නිර්දේශ වෙලා හිටියේ. හැබැයි පුබුදු අයියා රඟපාපු One Way ටෙලි නාට්‍ය මම මුල ඉඳලම බැලුවා. අයියා ඒ වෙනුවෙන් කරපු කැප කිරීම මම දැක්කා. ඒ නිසා මම ආශාවෙන් හිටියේ අයියාට ඒ සම්මානය ලැබෙනවාට. හැබැයි අයියා මට කිව්වේ අපි යන්නේ සම්මාන ගන්න නෙමෙයි. සම්මාන උළෙල බලන්න කියලා. අපි දෙන්නා එකට ඉඳන් සම්මාන උළෙලක් බැලුවේ එදා තමයි. අයියට සම්මානය ලැබෙද්දීත් මට ගොඩාක් සතුටු හිතුණා.

පුබුදුගෙයි ඔයාගෙයි ආදර කතාව පටන් ගත්තේ කොහොමද කියලා දැන් කියමු නේද?

අපි දෙන්නා එකම ස්කීම් එකේ ලේන් දෙකක ඉන්නේ. හැබැයි මම එයාව දැකලා තිබුණේ නැහැ. අපේ පාසලේ බැජ් පාටි එකට ආරාධිතයෙක් විදිහට අයියා ආවා. එදා තමයි මම පුබුදු අයියව ඇත්තට දැක්කේ. එදා අපේ පාසලේ ළමයි පුබුදු අයියත් එක්ක ෆොටෝස් ගත්තා. මටත් එයා එක්ක එක ෆොටෝ එකක් ගන්න ලැබුණා. එදා මිස් ක්වීන් කිරුළ මට පැලැන්දුවෙත් අයියා. ඊට පස්සේ අපි කතා බහ කළා. අයියා පින් අතේ වැඩ කරනවා. අපිත් ඒ කණ්ඩායමක් එක්ක වැඩ කළා. ඔය අතරේදී තමයි අපේ ආදරයත් ප්‍රකාශ වෙන්නේ.

මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ පුබුදුද?

ඔව්. ඒකත් මට පුදුම කිරීමක්. අපි කළුතර බෝධියට පූජාවක් තිබ්බා. මමත් අපේ ගෙදර අය එක්ක ඒ පූජාවට ගියේ. එතැනදී අයියා මාව කළුතර බෝධිය ළඟට එක්ක ගිහින් මට කැමැතියි කියලා කිව්වා. මම එකපාර ගල් වුණා වගේ ඉදලා මුකුත් නොකියා එතැනින් ගියා.

හැබැයි නිමාෂාගේ හිතේ පුබුදු ගැන කැමැත්තක් තියෙන්න ඇතිනේ?

ඔව්. එයාට අකැමැති වෙන්න හේතුවක් තිබුණේ නැහැ.

පුබුදු නළුවෙක් කියන දේ ඔය කැමැත්තට බලපෑවද?

පුබුදු අයියා නළුවෙක් කියලා හිතලා මම යාළු වුණේ නැහැ. එයා පුද්ගලයෙක් විදිහට ගොඩක් හොඳ කෙනෙක්. ඕන දෙයක් ගැන එයාට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා ඕන දෙයක් තේරුම් ගැනීමේ හැකියාව එයාට තියෙනවා.

නිමාෂාට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

මම පුංචි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. රංගනයටත් ආරාධනා ලැබුණා. මගේ උපාධියේ අධ්‍යයන කටයුතු නිසා රංගනය වෙනුවෙන් කාලය වෙන් කරන්න අපහසු වුණා. ඒ නිසා ඒ ආරාධනා අතහැරලා දැම්මා.

රංගන කටයුතු අතහැරියේ පුබුදු නිසා නෙමෙයිද?

මම රංගනයට සම්බන්ධ වෙනවට එයාගේ අකැමැත්තක් නැහැ. මම කැමැතියි පුබුදු අයියත් එක්ක චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. අවස්ථාවක් ලැබුණොත්, සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැතියි. දැන් හොඳ ගුරුවරයෙකුත් මට ඉන්නවනේ. එයා මට රංගනය කියාදෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්