ඉතිහාසය තුළින් නූතනය ආමන්ත්‍රණය කරන ගිරිකූඨ කාශ්‍යප ටවර් රඟහලට

  👤  1193 readers have read this article !
Published by : MB WEB 2017-07-16 07:29:48

අඛිල සපුමල්ගේ "ගිරි කූඨ කාශ්‍යප" සංගීතමය රංගය ජූලි 16 (අද) දින සවස 4.00 සහ 7.00ට ටවර් රඟහලේදී වේදිකාගත වන්නට නියමිතය. 2017 රාජ්‍ය නාට්‍ය සම්මානයන්ගෙන් වසරේ විශිෂ්ටතම නිළිය, වසරේ විශිෂ්ටම ස්වීය රචනය, වසරේ විශිෂ්ටතම සංගීත නිර්මාණය, වසරේ විශිෂ්ටතම රංග වස්ත්‍ර නිර්මාණයට හිමි සම්මාන දිනාගත්තේ මේ නාට්‍යයයි.

"ගිරි කූඨ කාශ්‍යප" නාට්‍යයේ පිටපත ප්‍රවීණ කිවිවර ආරියවංශ රණවීරයන්ගේය. රංග වින්‍යාසය හා අධ්‍යක්ෂණය අඛිල සපුමල්ගේය. සංගීත අධ්‍යක්ෂණය ළහිරු මාඩිවිලගේය. නිෂ්පාදනය "වින්දන" පර්ෂදයෙනි.

වේදිකා නාට්‍යයේ සුවිශේෂී ඉමක් සංස්පර්ශ කළා වූ මේ නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වාම සංගීතයෙන් විකාශනය වනවා. ඒ වගේම තමයි පර්යේෂණාත්මක රංග ආකෘතියකට අනුව ගලාගෙන යන කතා සන්දර්භයක් මේ නාට්‍යයට හිමියි. සීගිරිය නම් කලාපුරයක් වේදිකා මස්තකයේ නිර්මාණය කරමින් ඉතිහාස කතාවක් තුළින් නූතන සමාජය ඇමැතීමට අඛිල සපුමල්ට හැකි වෙනවා. කාශ්‍යප රජුගේ කේවල පුද්ගල ඛේදවාචකය තමයි මේ නාට්‍යයේ මූලිකවම නිරූපණය වන්නේ. මේ සමාජයේ සාමාන්‍ය මිනිස් හැසීරීම්, කාශ්‍යප රජුගේ හැසිරීම් ආකාරයට ඉදිරිපත් කරන ගමන්ම පොදු දේශපාලන ආඛ්‍යානයක් මේ තුළින් ඉදිරිපත් වනවා. සංවාදවලින් තොරව ගීතයෙන් සහ සංගීතයෙන් ගලා යන නාට්‍යය, රංග ශෛලියට ගළපා ගන්නේ අපූර්වාකාරයටයි.

මේ නාට්‍යයේ මුල් පිටපත සකස් වී තිබෙන්නේ 1966දී. ඒ ආරියවංශ රණවීරයන් සහ දයා අල්විස් මහතා ගුරුවරුන් ලෙස සේවය කරන කාලයක, එක්තරා පාසලක ළමයින් කණ්ඩායමක් සමඟ "ගිරිකූඨ" නමින් නිෂ්පාදනය කළ නාට්‍යයක් හරහා. "ගිරිකූඨ කාශ්‍යප" අධ්‍යක්ෂණය කිරීමට නිමිත්ත සැකසෙන්නේ දයා අල්විස් මහතාගේ පළමු වර්ෂ සිහි ගැන්වීමට උපහාරයක් විදියටයි. මේ නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමට ආරියවංශ රණවීර මහතා කළ යෝජනාවත් සමඟයි.

සංගීතයෙන් කාශ්‍යප චරිතය මුවහත් කරන අතරම ප්‍රේක්ෂකයාට නාට්‍ය අවසන් වන තෙක්ම ආමන්ත්‍රණය කරන්නේද සංගීතයයි. නාට්‍යයේ සංගීතය ජනප්‍රියම ශෛලිය ගුරු කොට ගත්තක් නොවේ. ගීත නාටක, ඔපෙරා, ජන සංගීතය යම් යම් අවස්ථාවලදී යොදා ගෙන නැත්තේ ම නොවේ. ළහිරු මාඩිවිලගේ සංගීත මුසුවට නදීක වැලිගොඩපොළගේ සංගීත හා ශ්‍රව්‍ය අධීක්ෂණය මුසුවන්නේ මානවයාගේ හැඟීම, සිතිවිලි, ආවේග මේ සියල්ල රංගනයෙන් ප්‍රකාශයට පත් කරමින්මයි.

පර්යේෂණාත්මක රංග ආකෘතියක් තුළින් දේශීය නාට්‍ය කලාව පෝෂණය කරන අඛිල සපුමල්ගේ මේ නාට්‍ය නිර්මාණයටත්, ඔහු මෙතෙක් නිර්මාණය කළ බැකී, හිනාවෙලා මිනිත්තුවක්, රාවණ ආදරයේ හුස්ම ළඟ ආදී නිර්මාණවලට වගේම ඉතාමත් උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සම්මානීයත්වයට පත් වී අවසන්. ඉතින් ඔබටත් පුළුවන් අද "ගිරි කූඨ කාශ්‍යප" නරඹන්න.

නලිනිකා ල්කෂාණි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්