රංගනයට එන්න මට පිස්සුවක් තිබුණා

  👤  2902 readers have read this article !
Published by : MB WEB 2017-08-01 12:33:56

පැහැසරා නාට්‍යයේ ඉෂාරා නිසා සමාධිට මේ දවස්වල අවධානයක් යොමු වෙලා නේද?
ඔව්. ඒ චරිතය හරිම දඟකාර, කටකාර චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති මට අවධානයක් යොමු වෙලා තියෙනවා.

ඉෂාරා වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ ළඟදී කතරගම ගියා. දුර පළාතක් වුණාට ගොඩක් අය මාව හඳුනා ගත්තා. ළඟට ඇවිල්ලා කතා කරලා කමෙන්ට්ස් දුන්නා.

රංගනයට එන්න හැමෝටම හැකියාවක් නැහැ. සමාධිට රංගනයට එන්න මඟ පෑදුණේ කොහොමද?
මුලින්ම මම චිත්‍රපටයක ඉන්ටර්විව් එකකට ගියා. ඒකෙදි මාව දැකලා තමයි ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණේ.

එතකොට චිත්‍රපටය ගිලිහුණාද?
මාව චිත්‍රපටයට තෝරා ගත්තා. හැබැයි මට ඒකට සම්බන්ධ වෙන්න බැරිවුණා. මොකද මට ඒ ලැබුණු චරිතයෙදි මුළු කොණ්ඩෙම තට්ටෙ ගාන්න කිව්වා. ඒකයි මට ඒ චරිතයට සම්බන්ධ වෙන්න බැරිවුණේ.

තට්ටෙ ගාන්න කියපු නිසා ඒ චරිතය භාර ගන්න බෑ කියපු එක අපරාදේ කියලා හිතුණේ නැද්ද?
මෙහෙමයි. මට පළමුවැනියටම රංගනයට එන්න තිබ්බේ ඒ නිර්මාණයෙන්නේ. ආරම්භයේදීම එහෙම දෙයක් කරන්න තිබුණා නම් හොඳයි තමයි. ඒත් ඉතින් ඒ කාලේ මම හුඟක් පොඩියි. ඒත් දැන් ඒ වගේ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

ඊට පස්සේ චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
තව චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ඒත් ඒක මම හිතන විදියෙ එකක් නෙවෙයි. මොකද මම කරන පළමුවැනි චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් හැමදේම තියෙන එකක් වෙන්න ඕන. ඒත් මට තවම එහෙම චරිතයක් ලැබුණේ නැහැ.

ඔබ රංගනයට එන්න කාලයක් තිස්සෙ හීන දැකපු කෙනෙක්ද?
ඔව්, මම පොඩි කාලේ ඉඳන් මේ වෘත්තියට හුඟක් කැමැතියි. පාසල් යන කාලෙත් මම ඩ්‍රාමා කළා. මම පොඩි කාලෙ සිරස ටීවී එකේ වැඩසටහන්වලත් හිටියා. රංගනයට එන්න මට පිස්සුවක් තිබුණේ. ඒ පිස්සුව තමයි තවම හොඳ වෙලා නැත්තෙ.

හැබැයි ඔබ රංගනය කරන්නේ වෙනත් වෘත්තියක් කරන අතරතුර නේද?
ඔව්. මම වෙනත් වෘත්තියක් කරනවා.

රංගනය වෘත්තිය විදියට කරන්නෙ නැත්තෙ ඇයි?
මට රංගනය වෘත්තියක් විදියට කරන්න අමාරුයි. රංගනයෙන් විතරක් ජීවත් වෙන්න බැහැ. මොකද හැමදාම හොඳම චරිත ලැබෙන්නෙත් නැහැ. සමහරවිට හොඳ චරිත අවුරුද්දටම දෙකක් විතරක් ලැබෙන්න පුළුවන්. එතකොට ඉතින් මේ වෘත්තියෙන් විතරක් ජීවත් වෙන්න බැහැ.

රංගනයේදී තෝරා බේරා ගැනීම් කරනවා වගේ?
ඔව් අනිවාර්යයෙන්ම. මට ලැබෙන චරිතය මොන වගේ රාමුවක් තුළද තියෙන්නෙ, ඒකෙ මගෙ පරාසය මොකක්ද, මම කොහොමද අඳින්න පලඳින්න ඕන වගේ හුඟක් දේවල් බලනවා. මට කරන්න පුළුවන් නම් විතරයි මම භාර ගන්නෙ.

ප්‍රධාන චරිතයකින් එළියට එන්න තව කල් යයිද?
ඒක ඉතින් මගේ වාසනාව මත තමයි වෙන්නෙ. මොකද හැම කෙනාටම හැම දෙයක්ම ලැබෙන්නෙ නැහැනෙ. ඒ මොනවා වුණත් ලැබෙන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා. ප්‍රධාන චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කරනවා.

රංගනයෙ හැදෑරීමක් එක්කද මේ ගමන යන්නෙ?
ඔව්. මම නාට්‍ය හා රංගකලාව ඩිප්ලෝමා එකක් කළා. පාසලෙදිත් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා.

ගැහැනු ළමයෙක් රංගනයට එනකොට විවිධ බලපෑම් තිබෙනවා. ඔයාටත් එහෙම බලපෑම් ආවේ නැද්ද?
මටත් බලපෑම් ඇවිත් තියෙනවා. ඒක තමයි මම කලිනුත් කිව්වේ චරිතයක් ලැබුණම තෝරා බේරා ගැනීම් කරනවා කියලා. ගෙදරින් වුණත් කියනවා සමහර චරිත කරන්න එපා කියලා.

අද කාලේ ක්ෂේත්‍රයට ආව වගේ නෙවෙයි රැඳෙන්න අමාරුයි නේද?
ඔව්. මමත් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. ඒත් මමත් තාමත් මේ ගමන යන ගමන්. මගෙත් එක්කත් හුඟක් දෙනෙක් ආවා. එයාලගෙන් සමහර අය මට වඩා ඉස්සරහින් ඉන්නවා. දවසින් දවස අලුත් අය හුඟක් එනවා. රැඳෙනවද නොරැඳෙනවද කියන එක තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ දක්ෂතාව මත.

පැහැසරා නාට්‍යයේදී ඉෂාරට ලැබිලා තියෙන්නේ කුම්මැහි කුමාරයෙක්. සමාධිට සැබෑ ජීවිතයෙත් කුමාරයෙක් මුණගැහිලා නේද ඉන්නේ?
කුමාරයෙක් නම් හම්බවෙලා තියෙනවා. හැබැයි එයා නම් කුම්මැහි කුමාරයෙක් නෙවෙයි.

අලුත් වැඩ මොනවද කියලත් කියමු?
මේ දවස්වල පැහැසරා නාට්‍යයේ ෂූටින් තියෙනවා. ඊට අමතරව තව අලුත් නාට්‍යයක වැඩ භාර අරගෙන ඉන්නවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්