ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවා /රාත්‍රි ටෙස්ට් තරගය ඩුබායිහිදී

  👤  1808 readers have read this article !
Published by : MB WEB 2017-08-08 14:49:36

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එළැඹෙන ක්‍රිකට් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් එක් ටෙස්ට් තරගයක් දිවා/රාත්‍රි තරගයක් ලෙස ක්‍රීඩා කිරීමට මේ වනවිට දෙරටේම ක්‍රිකට් බලධාරීන් එකඟවී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඩුබායි නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේදී පැවැත්වෙන දිවා/රාත්‍රි ටෙස්ට් තරගයේදී රෝස පැහැති පන්දුව යොදා ගන්නා අතර, ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම දිවා/රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසද මෙය ඉතිහාසගත වනු ඇත.

ඒ අනුව පැවැත්වීමට නියමිත මෙම දිවා/රාත්‍රි තරගය පාකිස්තානය ක්‍රීඩා කරන දෙවැනි දිවා/රාත්‍රි තරගය ලෙස වාර්තාවන අතර, පාකිස්තානය පසුගිය වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැති ඔවුන්ගේ ප්‍රථම දිවා/රාත්‍රි තරගයෙන් ජයගනු ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ කාලසටහන පිළිබඳව දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 5කින් සහ විස්සයි-20 තරග තුනකින් සමන්විතය.

මේ අතර මෙම තරගාවලිය ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පරිදි සැලසුම් කර තිබුණද ඒ වෙනුවට තරගාවලිය ලබන සැප්තැම්බර් මස අගදී ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පාකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.

පාකිස්තානු ක්‍රිකට් සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබීම එවන් ඉල්ලීමක් කිරීමට හේතුව බවද පැවැසේ.

තවද ශ්‍රී ලංකා-පාකිස්තාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන මෙම සතියේ ප්‍රකාශයට පත් කෙරෙන බව වාර්තා වන අතර, මේ සම්බන්ධව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ දිවා/රාත්‍රි ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඔවුන් කළ ඉල්ලීමට ශ්‍රී ලංකාව එකඟ වූ බවත් එමඟින් විශාල ප්‍රේක්‍ෂකයන් ප්‍රමාණයක් ටෙස්ට් තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි සහ වඩාත් වර්ණවත් බවක් ගෙන දෙනු ඇතැයි දෙපාර්ශ්වයේම මතය වූ බවත්ය.

සටහන - සිරිනාම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්