ජනිත්ගේ නැටිල්ල මනීෂා

  👤  2208 readers have read this article !
Published by : MB WEB 2017-08-10 16:36:21

'දුටු දා' කවුරු වෙනුවෙන්ද ජනිත්ගේ මන බැඳුණේ?

එහෙම මන බැඳුණු විශේෂ කෙනෙක්නම් නැහැ. ඒ මගේ දෙවැනි මියුසික් වීඩියෝව ගැන තමයි ගොඩක් අය ඔය විදියට කතා වෙන්නේ.

මනීෂා ගැන ජනිත්ගේ මනබැඳිලා කියලාත් හරි හරියට කතා පැතිරෙනවා නේද?

මනීෂාට මනබැඳිලා කියලා තමයි ගොඩක් අය හිතන්නේ. මගේ ගීතය ෆේස්බුක් හිට් වෙද්දී ගොඩක් අය මගෙන් අහනවා මනීෂා එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා. ඇත්තටම එහෙම සම්බන්ධයක් නෑ. අපි සහෝදරයෝ වගේ.

ඔය ඔක්කොම කතා ගොඩනැඟුණ 'දුටුදා' ගීතයේ නිර්මාණ පසුබිම ගැනත් කතා කරමු?

ඇත්තටම අවුරුද්දක් විතර බලාගෙන හිටියා මේ ගීතය එළියට දාන්න. මං හිතුවා මේ තමයි 'දුටුදා' එළියට දාන්න හොඳම කාලය කියලා. මේ ගීතය ලිව්වේ අමිල රුවන්. ගීතය සංගීතවත් කළේ නිමේෂ් කුලසිංහ, මියුසික් වීඩියෝව කළේ ධනුක ඒකනායක.

අඬන රැල්ලේ එල්ලිලා ගොඩක් ගායකයෝ සින්දු හදද්දී මුලින් අඬපු ජනිතුත් 'දුටුදා' ගීතයෙන් වෙන අඩියක් තියලා නේද?

ගොඩක් අය කියන්න ගත්තා දැන් හැදෙන්නේ අඬන ගීත කියලා. මමත් මගේ මුල් ගීතයෙන් ඇඬුවා. හැබැයි දැන් ඇඬුවා ඇති කියලා හිතුවා. ඒ නිසා හොඳට නට නට හිනා වෙන්න පුළුවන් විදියේ ගීතයක් කළා. මට සංගීත ප්‍රසංගවලට ගැළපෙන්න ගීතයක් කරන්නත් ඕන වුණා. ඒකයි මේ වගේ වෙනසක් කළේ.

දැන් මියුසික් වීඩියෝවලත් අමුතු රැලි තියෙනවනේ. සරාගී දර්ශන රැල්ලේ ජනිත් එල්ලුනේ නැත්තේ ඇයි?

අපිට වෙනස් විදියේ දෙයක් කරන්නයි ඕන වුණේ. මේක මල් සිංදුවකුත් නෙවෙයි. ගැහැනු ළමයෙක්ගේ ඇඟ පෙන්වන දර්ශන ටිකක් දාලා මියුසික් වීඩියෝවක් කරන්න අපිට ඕන වුණේ නැහැ. අපිට ඕන වුණේ දැකලා නැති විදියේ වැඩක් එළියට දාන්න.

සමහර ගායකයෝ හිතාගෙන ඉන්නේ අඩනිරුවත් දර්ශන නැත්නම් ගීතයක් හිට් කරගන්න බෑ කියලා. ඒ වගේ දර්ශන නොදැම්මොත් ගීතය හිට් නොවෙයි කියලා දෙගිඩියාවක් තිබ්බෙම නැද්ද?

අපිට ගීතය හිට් කරගන්නම වුවමනාව තිබ්බේ නැහැ. හොඳ වැඩක් කළොත් ඒ ගීතය හිට් වෙයි කියන විශ්වාසය මට තිබ්බා. ට්‍රේන්ඩින්වලට එන්න ගැහැනු ළමයෙක්ගේ ඇඟ පෙන්වන්නම ඕනේ නෑ කියලා අපි කරලා පෙන්වූවා. ගීතය දාලා සතියක් වගේ ඇතුළත 'දුටුදා' යූ ටියුබ්වල ට්‍රේන්ඩින්වල හත්වැනි ස්ථානයටත් ආවා.

කරපු වෙනස සාර්ථකයි වගේ?

ඔව්. වෙනස සාර්ථකයි. ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පහුගිය සතිය ඇතුළත ප්‍රසංගවලටත් ගොඩක් ආරාධනා ආවා. මම හිතන්නේ රික්තකයක් පිරෙව්ව නිසා තමයි මේ තරම් ඉල්ලුමක් ලැබෙන්නේ.

තාමත් ජනිත් ප්‍රසංගවලදී ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරනවා නේද?

ඇත්තටම අදටත් මම ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරනවා. ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. ඔවුන් නිසා තමයි අද අපි යැපෙන්නේ. අපි මේ කරන දේ සාධාරණ නැහැ. මම ඒ ප්‍රවීණ ගායකයන්ට පින් දෙනවා. මොකද මම ඇතුළු බහුතරයක් නවක ගායන තරු ඔවුන්ගේ ගීතවලින් ජීවත් වෙනවා. හැබැයි මම පුළුවන් තරම් එතැනින් කැඩිලා මගේ ගීත ගායනා කරන්න පසුබිම හදාගන්නවා.

ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරද්දී ජනිත්ට කවුරුත් බකට් පෙරළුවේ නැද්ද?

මම ප්‍රසංග වේදිකාවේදී ගොඩක් වෙලාවට මිල්ටන් පෙරේරා මහත්මයාගේ සුර ලෝකේ මං සක්කර දෙයියෝ කියන ගීතය ගායනා කරනවා. ඩ්‍රීම් ස්ටාර් වුණාම මම ප්‍රියංකර පෙරේරා අයියට කතා කරලා ඒ ගීතය ගායනා කළාට කමක් නැද්ද කියලා ඇහුවම ඔහු ගීතය ගායනා කරන්න, ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. මම මේ වෙලාවේ ප්‍රියංකර අයියටයි, චලක අයියටයි ස්තුති කරනවා. මම ඔවුන් දුන්න අවස්ථාව දිගටම පාවිච්චි කරන්නේ නැහැ.

ජනිත් ඩ්‍රීම් ස්ටාර් වෙලා දැන් කාලයක් වෙනවා. තමන්ගේ කියලා ගීත පොකුරක් හදාගන්න ඇයි මේ තරම් ප්‍රමාද?

මගේ විභාගය නිසා මම අවුරුද්දක් විතර සංගීත කටයුතු කළේ නැහැ. මගේ පළමුවැනි ගීතයත් උඩට ඇවිත් තියෙන්නේ දැන් තමයි. මම ලබන අවුරුද්දේ අප්‍රේල් වෙද්දි මගේම ගීත පහක් ගායනා කරන්න අවස්ථාව හදාගන්නවා. ප්‍රසංගයකට ගියාම රසිකයෝ අපෙන් ඉල්ලන්නේ ප්‍රවීණයන්ගේ ගීත. එහෙම වෙන්නේ ඒ ගීතවල රස නිසා. ඒ ඉල්ලීම එකපාර බිඳින්න බෑ. හැබැයි හිමින් හිමින් අපේ ගීතම ගායනා කරන තැනට එනවා.

නාළිකාවලින් ජනිත්ට ලැබෙන සහාය ගැන සතුටුද?

සියයට සියයක සහායක් ලැබෙන්නේ නැහැ. හැබැයි නාළිකා අපට උදවු කරනවා. පොඩි පොඩි බලපෑම් තිබ්බත් මම වැටෙන්නේ නෑ. කොහොම හරි මේ ගමන යනවා.
සංගීත කණ්ඩායම්වල වැඩත් ජයටම කෙරෙනවාද?

ස්ටේජ් සහ සංක්‍රාන්ත් කියන බෑන්ඩ් දෙක දෙවිදියකට කරගෙන යනවා. තාම ඒ බෑන්ඩ් දෙකට ලොකු ජනප්‍රියත්වයක් නෑ. මේ ගමන යන්න හදිසි නැති නිසා වෙනස් විදියේ රහක් එක්ක ඒ වැඩත් කරගෙන යනවා.

ඊළඟ ගීතය රසිකයන්ට දෙන්න තව කල් ගනියිද?

එච්චර ලොකු කාලයක් ගන්නේ නෑ. තව මාස දෙක තුනක් ඇතුළත වචනවලින්, මියුසික්වලින්, තියෙන ට්‍රෙන්ඩ් එකෙන් වෙනස්ම වුණු නිර්මාණයක් රසිකයන් අතරට ගේනවා.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්