හුණුවටයේ මයිකල් කුමාරයා 'චව් චව්' වෙලා

  👤  2051 readers have read this article !
Published by : MB WEB 2017-08-11 15:34:48

අපි කාලෙකට පස්සෙ ජනනාත්ව වේදිකාවෙන්ද කින්නේ?

ඔව්, මීට කලින් මම හුණුවටය කතාවේ රඟපෑවා. කාලෙකට පස්සේ තමයි ‍ෙදාස්තර හොඳ හිත කියන නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඩොක්ටර් අසංග තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. හැමෝගෙම මතකයේ රැඳුණු චව් චව්ගෙ චරිතය තමයි මම කරන්නේ.

මේ ඔබේ පළමු රංගන අත්දැකීම නොවී තිබිලත් ඇයි කාලයක් රංගනයෙන් නිශ්ශබ්දව හිටියේ?

හුණුවටය කතාවේ මයිකල් කුමාරයා විදියට රඟපාලා තමයි මම වේදිකාවට පා තැබුවේ. ඊට පස්සේ මම 'අත්ත බිදෙයි' 'පුංචි පැටව්', වගේ ටෙලිනාට්‍ය හතරකටත් රංගන දායකත්වය ලබා දුන්නා. ඒ නිසාම මට චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. ඒත් අම්මා කැමැති වුණේ නැහැ මම රඟපානවට. මම කොහොමත් මුල් තැන දෙන්නේ සංගීතයට. ඒ නිසා ඒ දේවල් මඟහැරුණා.

වේදිකාවෙන් ලැබෙන පන්නරය නිසාද කාලෙකින් පස්සේ මේ වගේ නිර්මාණයකට එකතු වුණේ?

වේදිකාව කියන්නේ ඇත්තටම රංගන ශිල්පියෙක්ට පාසලක් වගේ තැනක්. වේදිකාව අපිට ප්‍රේක්ෂකයන්ව හඳුනා ගන්න, ඒ අයට සමීප වෙන්න පුළුවන් සුන්දර තැනක්. ඒ අත්දැකීම හරිම මිහිරියි. ලොකු සෙනඟකට ඇහෙන්න හඬ පාලනය කරගෙන සජීවීව ඒ රංගනය කරන්න ඕන. ඒ නැවුම් අත්දැකීමට මම හරිම කැමැතියි. ඒ නිසා තමයි මම මේ නිර්මාණයටත් සම්බන්ධ වුණේ.

‍ෙදාස්තර හොඳ හිත නාට්‍යයේ චව් චව්ගේ චරිතයට කලින් තෝරා ගත්ත කෙනාගේ අඩුව පුරවන්න ඔබට මේ අවස්ථාව ලැබුණ කියන කතාව ඇත්තද?

මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. ඩොක්ටර් අසංග මට තමයි මුලින්ම චව් චව්ගේ චරිතයට කතා කළේ. දිය රකුසගේ චරිතෙට නම් වෙන කෙනෙක්ට ආරාධනා කරලා තිබුණා කියලා තමයි මට ආරංචි වුණේ.

පසුගිය දවසක ‍ෙදාස්තර හොඳ හිත නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වුණා. ඉතිං දැන් චව් චව්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

නාට්‍යයේ ආරම්භක දර්ශන වාර දෙකක් තිබුණා. ඇත්තෙන්ම නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. රසවින්දනයත් එක්කම මේ නාට්‍යයට ප්‍රේක්ෂකයන්වත් සහභාගි කර ගන්නවා. මෙහිදී ලෙඩ රෝග වගේම සමාජ ගැටලු ගැනත් කතා කරනවා. මේක ඩොකියුමන්ට් ඩ්‍රාමා එකක් විදියට තමයි වේදිකාගත වෙන්නේ. ඒ නිසා ඉදිරියටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.

ජනනාත්ගේ අම්මයි තාත්තයි දෙන්නම ප්‍රවීණ නළු නිළි යුවළක් නිසා දැන් පුතත් ඒ අඩි පාරෙම යන්නද සූදානම?

මම ගියේ වෙනස් මඟක. මම මුල්තැන දුන්නේ බෙර වාදනයට වගේම නර්තනයට. ඒත් ඉතිං රංගනය මගේ ඇඟේ තියෙන දෙයක්. ඒ නිසා ඒක අත්හදා බලන්න හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් මම සම්බන්ධ වෙනවා.

කාලයක් නිතරම මාධ්‍යවල දකින්න ලැබුණ ජනනාත්ව දැන් නම් මාධ්‍යවල දකින්න ලැබෙන්නේ අඩුවෙන්. මොකක්ද හේතුව?

මම ඉස්සර රූපවාහිනි නාළිකා වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවල හිටියා. ඒත් දැන් නම් නිතර විදෙස් ගත වන නිසා ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න වෙලාව අඩුයි.

භාතිය සන්තුෂ්ලගේ ප්‍රසංගවලත්, ගීත නිර්මාණවලත් ජනනාත් නිතර දකින්න ලැබුණා.දැන් ඒ දේවල්වලින් අෑත් වෙලාද?

නැහැ. භාතිය මගේ පාසල් කාලෙ ඉඳන්ම සමීප හිතවතෙක්. ඒ නිසා ක්ෂේත්‍රයට එන්න කලින්ම මම එයාව දන්නවා. ඒ ගීතවලට මම අදටත් ගායනයෙන් වගේම වාදනයෙනුත් සම්බන්ධ වෙනවා.

මේ දවස්වල ජනනාත්ගේ වාදන වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලත් කියමු?

සීසන්ස් නමින් මගේම සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒකෙ වැඩ කටයුතු කරනවා. ඊට අමතරව රෝහණ බැද්දගේ, භාතිය සන්තුෂ් වගේම මමත් එකතු වෙලා තෙමියුරු දැහැන් නමින් ප්‍රසංගයකුත් කරනවා. ඒ වගේම මගේ තනි වාදන ප්‍රසංගයක් ඉදිරියේදී කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්