චිත්‍රාල්ගේ සිංහ සේයාව ‘සිංහ ලෝකයේ සිංහයා’

  👤  2495 readers have read this article !
Published by : MB WEB 2017-08-17 15:50:04

ඔබ රසිකයන් අතරට අලුත් නිර්මාණයක් ගෙනත්. ඒ ගැන මුලින්ම කතා කරමු?
ඔව්. මගේ අලුත්ම ගීතය සිංහලෝකයේ සිංහයා. ඒ ගීතය දැන් ගුවන්විදුලි නාළිකාවල ප්‍රචාරය වෙනවා.

ගීතයේ නිර්මාණ පසුබිම ගැනත් කිව්වොත්?
ගීතය සංගීතවත් කළේ මම. කැලුම් ශ්‍රී මාල්ගෙ තමයි වචන ටික. මේ ගීතය අධ්‍යක්ෂණය කළේ පාකිස්තානයේ ඉන්න කෙනෙක්. ඔහු තමයි අසාද් වුල්හක්.

මේ ගීතයෙන් යම් පණිවුඩයක් සමාජගත කරනවා නේද?
ඔව්. සමහර පාසල් යන ළමයින්ගෙන් උසස් පෙළ කළාට පස්සෙ මොනාද කරන්නෙ ඇහුවම "දන්නෙ නැහැ" කියන උත්තරය තමයි දෙන්නේ. අපිට මේසන් බාස්, කුණු අදින මිනිහා පවා අවශ්‍යයි. සින්දුවෙන් දෙන අදහස තමයි අපි කරන දේ හරියට කරන්න ඕන කියන එක.

ගීතයට මියුසික් වීඩියෝවක් කළේ නැද්ද?
මියුසික් වීඩියෝවක් කරලා තියෙන්නේ. ඒක එළියට එන්න තව මාස දෙකක් විතර යයි.

ලංකාවේ දැන් තියෙන මියුසික් වීඩියෝ රැල්ල ගැන ඔබට මොකද හිතෙන්නේ?
මම රැල්ලට වැඩ කරන්නෙ නැහැ. අනිත් එක මම නම් ජීවිතයට අනවශ්‍ය වීඩියෝ කරලා නැහැ. මම මගේ වීඩියෝවලින් මිනිසුන්ට රියැලිටි එක පෙන්නන්න තමයි උත්සාහ කරන්නෙ. ගොඩක් අය රැල්ලට වැඩ කරන්නෙ යූ ටියුබ්වල මඪඥඹඵ දාගන්න. ඒ කරන වීඩියෝ රූපවාහිනියෙවත් පෙන්නන්න බැහැ.

ඔබ රොක් ස්ටයිල් එකට බර ගායකයෙක් කියලා බොහෝ අය කියනවා. ඔබ ඒකට එකඟද?
මම රොක් ස්ටයිල් එකට සිංදු කියන්නෙ නැහැ. මම සිංදුවේ හැටියටයි ගායනා කරන්නෙ. මිනිස්සු හිතන්නෙ මම මවුපියන් ගැන සිංදුවක් කිව්වත්, වෙනත් ශෛලියකට ගීතයක් කිව්වත් ඒක රොක් ස්ටයිල් කියලා. මොකද මම පය ගහල තියෙන්නේ රොක් ස්ටයිල් කාලයක. මම කරාබු දානවා. කොණ්ඩෙ වවලා තියෙනවා. මිනිස්සු හිතන්නේ මමත් රොක් ස්ටයිල් එකක කෙනෙක් කියලා.

ගීතයක් කරපු ගමන් ඇයි ලංකාවෙන් යන්නෙ?
මම නැති වුණත් මගේ ගීතවල රසය මිනිසුන්ට විඳින්න පුළුවන්. නිතරම මම මෙහෙ හිටියොත් මගේ අගේ මිනිසුන්ට දැනෙන්නෙ නැහැ. අනිත් එක මම එච්චර මිනිස්සු අතර රැඳෙන්න කැමැති නැහැ.

අගේ අඩුවෙන නිසාද වැඩිපුර ලංකාවේ නොරැඳෙන්නේ?
අපේ මිනිසුන්ට හැමදාම දකින කුකුළගෙ කරමලේ අගේ නැහැනෙ. කලාව කියන්නෙ රටකට ලස්සනක් එකතු කරන දෙයක්. ඒත් ලංකාවේ කලාකරුවන්ව ගණන් ගන්නේ නැහැ. ඉතිං මම විදේශගතව හිටියට ලංකාවටත් ඇවිත් රසිකයන්ට ගීත කරනවා. ඒ විදිය හොඳයි.

ලංකාවේ වැඩිපුර හිටියා නම් ඔබ වැඩිපුර ප්‍රසංග වේදිකාවේ දකින්න තිබ්බා නේද?
මම හැම ෂෝ එකම භාරගන්නෙ නැහැ. මම භාරගන්නෙ විශේෂ ප්‍රසංග විතරයි. මොකද මටත් ඉන්නවා විශේෂ රසික පිරිසක්. සංගීත සංදර්ශනවල සෙල්ලම් කරන්න මම එච්චර කැමැති නැහැ. ඒක මගෙ ස්ටයිල් එකට එච්චර ෆිට් වෙන්නෙ නැහැ.

ලංකාවේ ඔබට ඉන්න රසික පිරිස ගැන සෑහීමකට පත්වෙනවාද?
මං වෙනුවෙන් රසික පිරිසක් ඉන්නවා. ඒ පිරිස තව වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. ඒ ගැන සතුටුයි.

ලංකාවේ බෑන්ඩ් එකක් හදන්න අදහසක් නැද්ද?
ලංකාවේ බෑන්ඩ් එකක් කරන්න අදහසක් තිබුණා. ඒත් මම හුඟක් වෙලාවට ලංකාවේ නැහැනෙ. ඒ නිසා ඒ වැඩේ මිස්වුණා.

තව අලුත් වැඩ සැලසුම් කරගෙන ඇති?
මම අම්මා, තාත්තා ගැන ගීත දහයක් රෙකෝඩ් කරලා තියෙනවා. ඒක ඉස්සරහට රිලීස් කරන්න ඉන්නෙ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්