‘වායෝ’ සමාජ සත්කාරයකට අත ගසයි

  👤  3247 readers have read this article !
Published by : MB WEB 2017-09-06 15:21:01

වායෝ ප්‍රසංගවලට කාර්යබහුල වෙලා වගේ?

මේ දවස්වල ප්‍රසංග කිහිපයක්ම තියෙනවා. එක අහසක් යට ප්‍රසංගය සැප්තැම්බර් 03 වැනිදා නෙලුම් පොකුණේදී සවස 6.30ට පැවැත්වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 16 වැනිදා සවස 6.30ට නුවර ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදීත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. අපි වගේම සනුක, කසුන් කල්හාර වගේ ශිල්පීන් මේ ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා.

වායෝ මාධ්‍යවල වැඩිපුර පේන්න නෑනේ?

කලා ශිල්පීන් එක්ක සහජීවනයෙන් කටයුතු කරන මාධ්‍ය නාළිකා එක්ක විතරක් අපි වැඩ කරනවා. අනෙක් චැනල්වලට යන්නේ නෑ. අපි යූ ටියුබ් චැනල් එකක් පටන් අරන් තියෙනවා. ඒකෙන් තමයි අපේ දේවල් එළියට එන්නේ.

සංගීත්ට මාධ්‍යවලින් ආරාධනා නැති නිසා ඔහොම කියනවා කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්?

නැහැ. සංගීත් මාධ්‍යවල නැති නිසා මෙහෙම කියනවා කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන් තමයි. නමුත් මට මාධ්‍යවලින් කොච්චර කතා කරනවාද? එහෙම කතා නොකරන දවසකුත් එයි. මම සත්‍ය තේරුම් අරගෙන ඉන්නේ. මාධ්‍යවල අවස්ථා නොදෙන එක නෙවෙයි අවස්ථා දීලා සූරාකන එක ගැනයි මම කතා කරන්නේ. අපි පාවිච්චි කරනවා නම් ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕන.

කලා ශිල්පීන්ට මාධ්‍යවලින් ලැබෙන ඉඩේ ප්‍රශ්නයක් නිසාද ඔය තීරණය ගත්තේ?

මාධ්‍යවලින් ඉඩ ලැබෙනවා. එයින් කලා ශිල්පීන්ට ලැබෙන පල ප්‍රයෝජනයක් නැහැ. චැනල් අයිතිකාරයන්ට තමයි එයින් පල ප්‍රයෝජනයක් තියෙන්නේ. කලා ශිල්පීන්ට නාළිකාවල සහජීවනය බෙදිලා යන්නේ නැහැ. ඕක අපි අවුරුදු ගාණක් තිස්සේ තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි යූ ටියුබ් චැනල් එකක් පටන් අරගෙන පවත්වාගෙන යන්න අපි හිතුවේ. ඒ හරහා අපේ දේවල් බලන්න එන්න කියලා රසිකයන්ට ආරාධනා කරනවා.

යූ ටියුබ් චැනල් එකකින් වැඩි රසික පිරිසක් වෙත යන්න ඉඩකඩ ලැබෙනවද?

සාමාන්‍ය චැනල්වලින් තමයි පබ්ලිසිටි වැඩි කරගන්න පුළුවන්. ලංකාවේ ජනතාව තාම යූ ටියුබ්වලට හොඳටම හුරුවෙලා නැහැ. සාමාන්‍ය චැනල් එකක ගීතයක් ගියොත් තමයි ඉක්මනට එය ජනප්‍රිය වෙන්නේ. නමුත් අපි චැනල් පස්සේ යන්නේ නෑ කියලා අධිෂ්ඨානයක් ගත්තා. ගම්වලට ගියාම සමහර අම්මලා තාත්තලා අපෙන් අහනවා පුතේ ඔයාලා පේන්නවත් නෑනේ කියලා. ඒ අපි ටීවී වල පේන්නේ නැති නිසා. නමුත් ඒවාවල පෙනී ඉඳලා තේරුමක් නැති නිසා අපිට පාඩු වුණත් ඒ අභියෝගය භාරගෙන එය වෙනස් කරන්න තමයි උත්සාහ කරන්නේ.

මාධ්‍යවලින් අෑත් වෙලා ඉන්න අදහසට කණ්ඩායමේ මත ගැටුම් තිබුණේ නැද්ද?

අපේ කණ්ඩායම සාකච්ඡා මාර්ගයෙන් තමයි හැමදේම කරන්නේ. මම නායකයා කියලා මට ඕන ඕන දේ මම කරන්නේ නැහැ. කණ්ඩායමේ අනෙක් අයටත් කරුණු අවබෝධ කරලා ඒ අයගේ කැමැත්ත අනුව තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ.

ඔබ වගේ ක්ෂේත්‍රය තුළ වැඩි කාලයක් හිටපු කෙනෙක්ටත් මාධ්‍යවලින් කෙනෙහිලිකම් වෙනවද?

මාධ්‍යයේ කාර්යභාරය තමයි ප්‍රසිද්ධ වෙන කෙනා සූරාගෙන ළඟට ගන්නවා. ළඟට අරගෙන ඒ කෙනාගෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ කෙනාව හපයක් කරලා එළියට දාලා ඊට පස්සේ ජනප්‍රිය වෙන කෙනාව ළඟට ගන්නවා. සමහර කලා ශිල්පීන්ට ආසයි නාළිකාවල පේන්න ඉන්න. ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නාළිකාවල අය. නමුත් කලා ශිල්පීන්ට වෙන සෙතක් නැහැ. මම කොහොමත් මාධ්‍යවලට යනවා අඩුයි.

සංගීත් ලොකු සීන් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්?

ලොකුකමකට නෙවෙයි. මාධ්‍ය ලොක්කෝ හුරු වෙලා ඉන්නවා කලා ශිල්පීන්ව සූරගෙන කන්න. කලා ශිල්පීන්ට බෙනිෆිට් එකක් නෑ. අපි ඒක තේරුම් අරගෙන ඉන්නවා. ඒ ගැන අනෙක් කලා ශිල්පීන්වත් දැනුවත් කරනවා. නමුත් සමහරු දැනුවත් වෙන්නේ නෑ. මොකද අර ලැබෙන ජනප්‍රියත්වයට කැමැති නිසා.

'වායෝ' සංගීතයට අමතරව walk with Wayo හරහා අලුත් වැඩකොටසක් පටන් අරගෙන නේද?

walk with Wayo කියලා සංවිධානයක් අපි පටන් අරගෙන තියෙනවා මිනිසුන්ව දැනුවත් කරන්න. අපේ රටේ පරිසරය සම්බන්ධ ලොකු විනාශයක් වෙමින් තියෙනවා. දේශපාලකයෝ කඳු කපනවා. දේශපාලන හෙංචයියෝ පාරිසරිකවත් රට විනාශ කරලා තියෙන්නේ. walk with Wayo හරහා පරිසරය ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම බෝ නොවන රෝග ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකුත් පටන් අරගෙන තියෙනවා. ඒ ලෙඩ රෝගවලින් වැළකෙන ව්‍යායාම ආදිය අපි ප්‍රචලිත කරමින් යනවා.

කලාවත් එක්ක මේ වගේ සමාජ සත්කාරයක් පටන් ගත්තේ මේ සිද්ධ වෙන විනාශයන් දැකලද? නැත්නම් මේ වැඩපිළිවෙළ පිටිපස්සේ දේශපාලන හස්තයක්වත් තියෙනවාද?

මේක කිසිම පක්ෂයකට අයිති දෙයක් නෙවෙයි. අපිත් කාලයක් සද්ද නැතිව හිටියා. නමුත් කලා ශිල්පියෙක් හැටියට වගකීමක් තියෙනවා කියලා දැන් හොඳටම දැනිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒකට ගොඩක් අය සම්බන්ධ වෙලත් ඉන්නවා. ඒ කෙනෙක් තමයි රුවන් බස්නායක කියන්නේ. මේක කිසිම පක්ෂයක් යටතේ කරන දෙයක් නෙවෙයි. දේශපාලනය කරලා පාර්ලිමේන්තු යන ගොන් අදහසකට කරන වැඩකුත් නෙවෙයි මේක.

'වායෝ' බෑන්ඩ් එක වේදිකාව තුළ හදාගෙන තියෙන ඉඩ ගැන සතුටු වෙනවාද?

'වායෝ'වලට විතරක් නෙවෙයි ලංකාවේ තියෙන අනෙක් බෑන්ඩ්වලටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. අපි තමයි හොඳම එක කියලා එකක් නෑ. මේරියන්ස්, ඩැඩී, ඩොක්ටර් වගේ ගොඩක් බෑන්ඩ්වලට ගොඩක් අය ආසයි. නමුත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට විනෝද වෙන්න අවස්ථාවක් නැහැ. සමහරුන්ට මුදල් නැහැ. මිනිස්සු කාලා බීලා ඊට පස්සේ තමයි විනෝද වෙන්න ඕන. දේශපාලනඥයෝ හොරකම් කරද්දි රටක entertaining නැති වෙනවා.entertaining නැතිවෙද්දී මිනිස්සු පිස්සෝ වෙනවා. ඒ නිසා මිනිසුන්ට හොඳ සංගීතයක් දීලා මිනිසුන්ගේ ඔළු හදන්න ඕන. නැත්නම් ගොඩ එන්න බෑ.

ළඟකදි අලුත් ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ළඟදි අලුත් ගීතයක් එනවා වීඩියෝවකුත් එක්කම. නිල් අහස කියලා කෞෂාන්ගේ ගීතයක් ළඟදි ආවා. walk with Wayo ආරම්භ කළේ ඒ ගීතයෙන්. ගීතය අපිට කළේ සනුක වික්‍රමසිංහ. ගීතයේ රූපරචනය කළේ ප්‍රසාද් අලුත්වත්ත. ඒ ගීතයත් යූ ටියුබ් චැනල් එකෙන් යන්නේ.

ලොකු කාලයක් ගන්නවා නේද ගීතයක් කරන්න?

ඔව්. අපි ගීත හද හදා බලනවා. අපිටත් විඳින්න පුළුවන් ගීතයක් තමයි අපි කරන්නේ. අපිට අලුත් දක්ෂයෝ ගීත හදනවා. ළඟදී අලුතෙන් කරන ගීතයත් ඒ වගේ විඳින්න පුළුවන් ගීතයක්. ඒකත් අපේ යූ ටියුබ් චැනල් එකෙන් රසවිඳින්න පුළුවන්. අපේ රසිකයන්ට අපේ යූ ටියුබ් චැනල් එක හරහා අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්