චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා’ හෙට එළිදකී

  👤  2208 readers have read this article !
Published by : MB WEB 2017-09-14 10:32:16

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන 'ජනාධිපති තාත්තා' ග්‍රන්ථය හෙට (15දා) පෙ.ව. 7.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.

සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙස දේශපාලන දිවිය අරඹා කෙමෙන් කෙමෙන් ජනාධිපතිධුරය දක්වා ආ ගමනේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටිකොට මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙන අතර ජනාධිපති ධුරය දරන තම පියා පිළිබඳව දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක් වෙයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හට ස්වකීය දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ සිටම නොසිතු විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර පවුලක් වශයෙන් ඔවුන් ඒවා විඳ දරාගත් ආකාරය පිළිබඳව සාමාන්‍ය සමාජය නොදත් තොරතුරු රැසක් මෙන්ම සියනෑ කෝරලයෙන් රජරටට ජීවිතය සොයා ගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ සත්‍ය ජීවන පුවත මෙලෙස සාහිත්‍ය ලෝකයට විවර කෙරේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබඳව හා 2015 ජනාධිපතිවරණය යටතේ මෙතෙක් හෙළි නොකළ සත්‍ය කතාවන් රැසක් සහිත මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ දේශපාලනමය මුහුණුවරකින් තොරව ඉතා රසවත් නවකතාවක ආකෘතියෙන් රචනා කොට තිබීමයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ සිට යුගයෙන් යුගය සිදුවූ දේශපාලන සංසිද්ධීන්වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ල වූ ආකාරය පිළිබඳව විග්‍රහයන් මෙහි ඇතුළත් වෙතත් ඒවා මෙම කෘතිය තුළ රස නුසුන්කොට ලියැවී ඇත.

මෙම ග්‍රන්ථය රචනා කළ චතුරිකා සිරිසේන මහත්මිය තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිධාරිනියකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්