අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටි

  👤  2547 readers have read this article !
Published by : MB WEB 2017-09-18 16:27:42

රසිකයෝ කාලයක් බලාගෙන හිටපු සජිතගේ 'ස්වර්ණපාලි' එළියට ඇවිත්නේ?

ඔව්. මම යූ ටියුබ් එකෙන් තමයි මුලින්ම ගීතය රිලීස් කළේ. දින පහක් ඇතුළත ට්‍රෙන්ඩින් නම්බර් 1 වීඩියෝ එක බවට 'ස්වර්ණපාලියේ' පත්වුණා. පළමුවැනි මියුසික් වීඩියෝ එකම එහෙම තැනකට ගන්න පුළුවන් වීම සතුටක්.

'ස්වර්ණපාලියේ' මියුසික් වීඩියෝව රිලීස් වෙනතුරු බලාගෙන හිටපු පිරිසක් ඉන්නවා. මෙච්චර කාලයක් ගත්තේ වීඩියෝව හොඳ මට්ටමෙන් කරන්නද? නැත්නම් අගය කරලා වීඩියෝව එළියට දාන්නද?

පළමුවැනි දේ කරන්න ටිකක් අමාරුයිනේ. මගේ දෙවැනි, තුන්වැනි මියුසික් වීඩියෝ මේ තරම් පරක්කු වෙන එකක් නෑ. පළමුවැනි වැඩේ වගකීම වැඩියිනේ. එතකොට මේක ඕනවට එපාවට හදිසියෙන් කරන්න ඕන වුණේ නැහැ. ඉක්මනට කරන්න ඕන කියලා හිතුවෙත් නැහැ. අපිට ඕන වුණේ මේ කරන දේ නිදහසේ කරන්න. මේ සින්දුව හදන්නම අවුරුදු දෙකක් විතර ගත කළා. සනුක ගොඩක් මහන්සි වුණා මේක කරන්න.

සජිතගේ සමීපතමයෝ ගොඩක් මේ නිර්මාණයට දායක වෙලා ඉන්නවා නේද?

ඔව්. මේක පවුලේ වැඩක් වගේ. අප්පච්චි තමයි වීඩියෝ එකේ ඩිරෙක්ටර්. ඒ වගේම ගීතය රචනා කළෙත් අප්පච්චි. සනුක තමයි සංගීතය නිර්මාණය කළේ. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි වීඩියෝවේ රඟපාන්නේ. අපේම වැඩක් විදියට මේක කළේ. මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. සනුක, මගේ අප්පච්චි, අපි හැමෝම මේකට ගොඩක් මහන්සි වුණා.

අපට දැකලා හුරු මියුසික් වීඩියෝ රැල්ලෙන් වෙනස්ම වුණු මියුසික් වීඩියෝවක් කරන්න ඕන වුණේ සජිතටද? අප්පච්චිටද?

මේක සම්පූර්ණයෙන්ම අප්පච්චිගේ අදහසක්. හැබැයි මගේ පළමුවැනි සින්දුව අබා කුමාරයාගේ ජීවිත කතාවට සම්බන්ධ තේමාවකින් කරමු කියන අදහස මටයි සනුකටයි ආපු අදහසක්. අපි මුලින්ම වචන ටිකක් ලිවුවා. නමුත් ඒ සින්දුවට දෙන්න අවශ්‍ය ගැඹුර අපේ වචනවල තිබ්බද කියලා ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා අපි ලියපු එක අප්පච්චිට පෙන්නන්නේ නැතුව එයාට කිව්වා මෙලඩි එකට වචන ටිකක් ලියලා දෙන්න කියලා. අපි ලියපු එකට වඩා අප්පච්චි ලියපු එක දිනුවා.

සනුකටම කියලා ගීතය කරගන්න හිතුවේ?

මම, සනුක, නදිමාල්, කෞෂාන්, දිල්මින් කියන අපේ යාළුවෝ සෙට් එක ගත්තම සංගීත නිර්මාණය පැත්තෙන් ගොඩක්ම ඉහළින් ඉන්නේ සනුක. සනුක තමයි නදිමාල්ගේ, කෞෂාන්ගේ පළමුවැනි සින්දු හැදුවේ. මම පොඩ්ඩක් මූණ නරක් කරගෙන හිටියා මට සින්දුවක් හැදුවේ නෑ කියලා. සනුක කිව්වා මගේ ස්ටයිල් එක හඳුනගන්නකල් ඉන්න කියලා. පස්සෙ සනුක මට කිව්වා ඩාන්ස් කරමින්, රඟපාමින් කියන්න පුළුවන් සින්දුවක් හදන්න ඕන කියලා. මම ආස කරන දේ සහ සනුකගේ නිර්මාණශීලීත්වය එකතු වෙලා හොඳ දෙයක් හැදුණා. 'ස්වර්ණපාලියේ' කියන්නේ සනුක හුඟක් මහන්සි වුණු ගීතයක්.

සජිත ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා පෙන්නන්න ඕන වුණේ සනුකටද?

මම දෙයක් කරද්දි මට පුළුවන් උපරිමය ඒ තුළ කරනවා. ඒ උපරිමය ඇතුළට මම දන්න දේවල් එකතු වෙනවා. සංගීත ලෝකයේ මට ගොඩාක් උපදෙස් දෙන්නේ සනුක තමයි. මගේ ස්ටයිල් එක හදාගන්නේ කොහොමද කියලා උපදෙස් දුන්නේ සනුක. මම කාවවත් අනුකරණය කරලා වැඩක් නෑ. සජිත ඇන්තනි ගායනා ලෝකයට පිවිසෙද්දි එයාට වෙනම ස්ටයිල් එකක් තියෙන්න ඕන. මගේ ස්ටයිල් එක හඳුනාගන්න සනුක මට උදව් කළා. ඒකට ගැළපෙන ගීතයක් තමයි මේ හදලා තියෙන්නේ. මේ ගීතය සජීවීව ඉදිරිපත් කරද්දි මට දැනෙන ශක්තිය වැඩියි. මට නිකන් හිටගෙන මේ ගීතය කියන්න බෑ. දුවන්න, පනින්න, නටන්න තමයි හිතෙන්නේ. සනුකගේ මැජික් එක එතැනදි තමයි මට තේරෙන්නේ.

පහුගිය දවස්වල සනුකගේ 'පෙරවදනක්' ගීතය එළියට ආවා. සජිතගේ 'ස්වර්ණපාලියේ' එළියට ආවම ඔබත් සනුකත් සුපිරි වැඩකාරයෝ කියලා සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වුණා. ඒ ගැනත් සතුටු ඇති?

මට හරි සතුටුයි. මොකද සනුක කියලා කියන්නේ මම ගරු කරන අගය කරන කෙනෙක්. ඇත්තටම මේ ගීතයට විශාලම ආලෝකයක් සනුක දුන්නා. සනුක වගේ දක්ෂයෙක් මේ නිර්මාණයට සම්බන්ධ වීම මට ආඩම්බරයක්. සනුකත් එක්ක වැඩ කරන්න ලැබීම ගෞරවයක් විදියට මටත් දැනෙන්නේ.

සජිත ප්‍රසංග වේදිකාවටත් ගොඩවෙනවද?

අනිවාර්යෙන්ම. ඕනම වේදිකාවක මම මගේ ගීතය ගයන්න කැමැතියි. ගායකයෙක්ට සතුටුම දේ තමයි ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවීව ගීතය ගයලා ලැබෙන ප්‍රතිචාර. මට ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මම පුළුවන් විදියට ඒ දේවල්වලට සම්බන්ධ වෙනවා.

ආදරේට උරුම කරලා දුන්න ස්වර්ණපාලිත් මියුසික් වීඩියෝවේ ඉන්නවනේ. ඒ වගේ අදහසක් ගෙනාවේ සජිතමද?

ඔව්. ඒක මම කරපු යෝජනාවක්. හැබැයි අපේ අප්පච්චිට යෝජනා කරලා බෑ. අප්පච්චිගේ අබා චිත්‍රපටයේ මම හිටියා. ඊට පස්සේ දස්කොන් එකේවත්, සී රජ එකේවත්, ඇඩ්‍රස් නෑ එකේවත් මම නෑ. පුතා වුණාට වැඩක් නෑ නිර්මාණයට ගැළපෙනවා නම් විතරයි මාව සම්බන්ධ කර ගන්නේ. මේකෙදි වුණත් මම යෝජනා කළා කියලා එයා ගන්නේ නෑ. අප්පච්චිගේ ඕඩිෂන් එක පාස් වුණොත් විතරයි නිර්මාණයට සම්බන්ධ වෙන්න පුළුවන්. බුවිනිකාට ඩාන්ස් කරන්න පුළුවන්. හොඳ පෙනුමකුත් තියෙනවා. ශරීරයත් හැඩයි. එහෙම ළමයෙක් නිසා එයාව වැඩේට ගැළපුණා.

අප්පච්චි කැමැති වුණේ නැත්නම් ඇයව වීඩියෝවට සම්බන්ධ කරගන්නේ නැද්ද?

එහෙම වුණොත් බෑනේ ඉතින් එයාව සම්බන්ධ කරගන්න. එයාව මගේ ජීවිතයට සම්බන්ධ කරගත්තට නිර්මාණයට සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂතුමා එකඟ වෙන්න ඕනෙනේ.

බුවිනිකාත් මියුසික් වීඩියෝවට සම්බන්ධ වෙන්න එක පයින් කැමැති වුණාද?

එයා ටිකක් ලැජ්ජයි. ස්වර්ණපාලි කියන්නේ අබා කුමාරයාගේ කුමරියනේ. එතකොට ස්වර්ණපාලිව අබා කුමාරයාට විශේෂ වන්නේ යම් සේද බුවිනිකාව සජිතටත් යම්කිසි විදියකින් විශේෂ වෙනවනේ. මම ඉතින් ස්වර්ණපාලිට එයා හැර වෙන කාව ගන්නද? වෙන චරිතවලට ගන්න දක්ෂ නිළියෝ ඉන්නවා. ස්වර්ණපාලිට මට ගැළපුණේ එයා විතරයි. එයා දිගින් දිගටම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නෑ. මගේ ජීවිතේ මේක වැදගත්ම නිර්මාණයක් නිසා එයා ඒකට කැමැත්තෙන් සම්බන්ධ වුණා.

තමන්ගේ බිරිය, පෙම්වතිය තමන් කරන මියුසික් වීඩියෝවට සම්බන්ධ කරගැනීමත් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. සජිත ඒ රැල්ලේ එල්ලුණා නෙමෙයිද?

නැහැ. චරිතය ස්වර්ණපාලි වීම තුළ තමයි බුවිනිකාව මේකට සම්බන්ධ කර ගත්තේ. මගේ ඊළඟ මියුසික් වීඩියෝවේදී බුවිනිකාව නෙමෙයි දකින්න ලැබෙන්නේ. හැම එකටම එයාව සම්බන්ධ කර ගන්නේ නැහැ. නමුත් මේක ටිකක් විශේෂ නිසා මගේ ජීවිතයට විශේෂ කෙනෙක් සම්බන්ධ කර ගත්තා.

ස්වර්ණපාලි සැබෑ ජීවිතේ කුමරිය කරගන්න තව කල් වැඩිද?

මම නිර්මාණ සැලසුම් කළාට ඒ දේ තාම සැලසුම් කරලා නැහැ. ඒකට තව කල් තියෙනවා. මම තාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. උපාධියෙන් පස්සේ මම තවදුරටත් අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයට සහ කලා නිර්මාණවලට මම මුල් තැන දෙනවා. පෞද්ගලික ජීවිතේ ඒ දේවල් යථා කාලයේ තථා අයුරින් සිද්ධ වෙයි.

ගායන දිවියේ ඊළඟ වැඩ ගැනත් සැලසුමක් තියෙනවා වගේ?

ඔව්. 'ස්වර්ණපාලියේ' මියුසික් වීඩියෝව පමා වුණාට ඒකත් එක්ක තවත් පියවර දෙකක් විතර සැලසුම් කරලා තිබ්බේ. මෙතැනින් එහාට මගේ නිර්මාණවල පමාවීමක් වෙන එකක් නැහැ. ගායකයෙක් විදියට මගේ රසිකයන් එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙනවා.

රංගනයේදී මේ දවස්වල ස්පර්ශ කරන්නේ වේදිකාව විතරද?

පහුගිය දවස්වල මම ගොඩක් වේදිකාවත් එක්ක තමයි වැඩ කළේ. මම ඉගෙන ගන්නෙත් නාට්‍ය හා රංග කලාව නිසා මම ප්‍රායෝගිකව ඒ දේ පුහුණු වුණා. රාජිත දිසානායකයන්ගේ 'මට වෙඩි තියන් නැද්ද' නාට්‍යයට සම්බන්ධ වුණා. කලින් සෞම්‍ය ලියනගේ කළ චරිතය තමයි මට කරන්න අවස්ථාව ලැබුණේ. මට ඒක ලොකු භාග්‍යයක් වගේම අභියෝගයක්. ඊට අමතරව ප්‍රියංකර රත්නායකයන්ගේ ප්‍රේමවන්ත කුමාරයෝ සහ අකිල සපුමල්ගේ ගිරිකූඨ කාශ්‍යප වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා. මට ඒවායෙන් ඇගයීම් පවා ලැබුණා.

පුංචි තිරය, සිනමාව අතහැරලද?

සිනමාව සහ ටෙලි නාට්‍යවලින් අෑත් වෙලා නැහැ. නමුත් අධ්‍යාපන කටයුතු කරන ගමන් ලොකු කාලයක් ඒ දේවල්වලට වෙන් කිරීමේ අපහසුවක් තියෙනවා. මට ගොඩක් හොඳ නිර්මාණ කිහිපයක්ම අතපසු වුණා. හැබැයි මම පුහුණු වෙන්නේ රංගකලාව නිසා අනාගතයේදී අනිවාර්යෙන්ම සිනමාවෙන්, ටෙලි නාට්‍යවලට නැවැත වතාවක් හොඳින් එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ජීවිතයේ තව සැලසුම් ඇති?

මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තව මාස කිහිපයකින් නිම වෙනවා. මම තවදුරටත් අධ්‍යාපනය ලබන්න වෙන රටකට යනවාද නැත්නම් ලංකාවෙම කරනවාද කියලා තීරණය කරමින් ඉන්නේ. කොහොම වුණත් උපාධියෙන් පස්සේ කාලයක් ලංකාවේ රැඳිලා හොඳ වැඩ කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්