අපට දීපු දඬුවම හරිද? නැවත සලකා බලන්න: පානදුර ක්‍රීඩා සමාජ නිලධාරීහු ඉල්ලා සිටිති

  👤  1379 readers have read this article !
Published by : MB WEB 2017-09-21 12:12:35

විචිත්‍ර වීරසිංහ

මෙම වසරේ ජනවාරි මස පැවැති පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන කවය අතර තරගයකදී තරග පාවාදීමක් කළ බවට ඔවුන්ට එරෙහිව තිබූ චෝදනා විමර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව එකී තරගයේ ජීවගුණයට හානි සිදුකළා යැයි චෝදනාව මත එම ක්‍රීඩා සමාජ දෙකෙහිම ක්‍රීඩකයන් හා නිලධාරීන් ඇතුළු 27 දෙනකුට පසුගිය 17 වැනිදා සිට දඬුවම් පනවා තිබූ අතර, මෙම දඬුවම සාධාරණ නොවන බව කරුණු දක්වමින් පානදුර ක්‍රීඩා සමාජය ඊයේ (20දා) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී අදහස් දැක්වූ පානදුර ක්‍රීඩා සමාජයේ ලේකම් නුවන් සමරනායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මෙම කරුණ පිළිබඳව දිගින් දිගටම සුහදව කතා කිරීමට බලාපොරොත්තු වන බවත්, එයද ව්‍යර්ථ වුවහොත් පමණක් නීතිය හමුවට යාමට බලාපොරොත්තු වන බවත්ය.

"මුලින්ම කියන්න ඕනෙ මේ ක්‍රීඩා සමාජය ආරම්භ වුණේ 1922 වසරේදීයි. ඒ වසරේ සිට අද දක්වා අපේ ක්‍රීඩා සමාජයෙන් කිසිදු ආකාරයකින් වැරදි වාර්තා සිදුවෙලා නැහැ. අපේ ක්‍රීඩා සමාජය එදා මෙදා තුර හොඳ නමක් තියාගෙන ඉන්න ක්‍රීඩා සමාජයක්. ඒ නම කෙලෙසන්න එපා. දොන් අරුණසිරි, අකිල ධනංජය, චරිත බුද්ධික, චාමර සිල්වා, දිල්රුවන් පෙරේරා, හසන්ත ප්‍රනාන්දු වගේ විශිෂ්ට ක්‍රීඩකයන් මේ ක්‍රීඩා සමාජය බිහි කරලා තියෙනවා. වසර දෙකක තරග තහනමකට ලක්වුණු චාමර සිල්වා සම්බන්ධයෙන් කිසිම නරකක් අහන්න තරම් ඔහු කිසිම අවස්ථාවක තරග නීති කඩ කරපු ක්‍රීඩකයෙක් නොවෙයි. මේ තහනමට ලක්වුණු ක්‍රීඩකයන් අතර හසන්ත ප්‍රනාන්දු, ඉමේෂ් හා මිෂේන් සිල්වා වගේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ද සිටිනවා. ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනයෙන් මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලන්නේ මේ දරුවන්ගේ අනාගතය අඳුරු නොකර මේ ගත්ත තීරණය පිළිබඳව තවදුරටත් හිතන්න කියලයි" යනුවෙන් පැවැසූ සමරනායක මහතා මෙම තරගයේදී විනිසුරු කටයුතු කළ විනිසුරුවන් දෙදෙනා හා තරග තීරකවරයා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වාර්තා ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය.

"විනිසුරුවන් දෙදෙනා හා තරග තීරකවරයා තරගය පිළිබඳව සටහන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙන්කර ඇති තරග විනිසුරුවන්ගේ වාර්තා සටහන කිසිදු අයුරකින් පාවිච්චියට නොගෙන තරගයෙන් පසුව දිනයක් හෝ සඳහන් නොකළ පත්‍රිකාවක හාත්පසින්ම වෙනස් සටහනක් තබලා තියෙනවා. ඒ සටහනට අනුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම විමර්ශන කටයුතු සිදුකරලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි තීරණයක්" යැයි පැවැසූ ලේකම්වරයා මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ කමිටුවේ සභාපති අසේල රැකව මහතා පැවැසූ කරුණක් පිළිබඳවද මෙසේ ප්‍රතිඋත්තර සැපයීය.

"මෙම කරුණ පිළිබඳව විමර්ශනය කරන්න කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට ආරාධනා කළත් සහයෝගය ලැබුණේ නැහැ කියලා ඒ මහතා කියලා තියෙනවා. ඒක සම්පූර්ණ සාවද්‍යයි. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හා නිලධාරීන් හැටියට අපි කිහිප දෙනෙක් මෙම විමර්ශන කටයුතුවලට සහභාගි වුණා. ඒත් ඔවුන් අපි පත්කළ නීතිඥයන් සමඟ කතා කළත්, ඒ කිසිම අවස්ථාවක අපෙන්වත්, ක්‍රීඩකයන්ගෙන්වත් විමසීමක් කළේ නැහැ. ඒ වගේම චාමර සිල්වා සම්බන්ධයෙනුත් යමක් කියන්න ඕනෙ. ඔහු තෙවැනි දිනයේදී බඩේ අමාරුවක් නිසා තරගයට සහභාගි වෙන්නේ නැහැ කියලා අපිව දැනුවත් කළා. අපි ඒ බව එම තරගයේ විනිසුරුවන් හා තරග තීරකවරයා දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් සියලුම වාර්තා අපි ළඟ තියෙනවා"යැයිද කීය.

මෙම මාධ්‍ය හමුව සඳහා පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා මහතාද එක්ව සිටි අතර, ඔහු පැවැසුවේ මෙම ලබා දුන් තරග තහනමට ගොදුරු වී ඇත්තේ අනාගතයේදී ජාත්‍යන්තරයට දායාද කළ හැකි ක්‍රීඩක පිරිසක් හෙයින් ඔවුන්ගේ අනාගතය අඳුරු නොකරන ලෙසය.
"අපි දිනෙන් දිනම ඉහළට යන කණ්ඩායමක්. ලබන වසරේදී ශ්‍රී ලංකාවේ නමක් දිනා ඇති ක්‍රීඩකයන් රැසක් අපේ ක්‍රීඩා සමාජයට එක්වෙන්න තීරණය කරලා තියෙනවා. මෙය ඉවසාගන්න බැරි කණ්ඩායමක් අපිට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින්නේ මේ ලබා දුන් තීරණය පිළිබඳව තවදුරටත් හිතා බලන්න කියලයි" යනුවෙන්ද ජයන්ත සිල්වා මහතා සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්