ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩකයෝ කටුනායකින් බැස්ස ගමන්ම මාතරට එති

  👤  1333 readers have read this article !
Published by : MB WEB 2017-09-22 11:04:52

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද (22දා) සිට දින තුනක් පුරා උත්කර්ෂවත් ලෙස මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මෙම ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ තරග ලෙස ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග මෙම දිනවලදී පැවැත්වීමෙන් අනතුරුව සමාප්ති උළෙල 24දා (ඉරිදා) සිදුකිරීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30 සිට පැවැත්වෙන සමාරම්භක උළෙලත් සමඟ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල ඇරැඹෙන අතර, ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දල්වනු ලබන්නේ දකුණු පළාතෙන් බිහි වූ ප්‍රවීණ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් දෙපළක් වන සුජිත් රෝහණ සහ ධම්මිකා මැණිකේ විසිනි. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ විශේෂත්වයක් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට වසර 50ක් පිරීම නිමිත්තෙන් විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් ක්‍රීඩා උළෙලට සමගාමීව කොටවිල ක්‍රීඩාංගණ පරිශ්‍රය ආසන්නයේම පැවැත්වීමයි. තවද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලබන එම අධ්‍යාපනික ප්‍රදර්ශනය හා සැණකෙළිය අද සිට දින තුනක් පෙරවරු 9.00 සිට මහජනතාව සඳහා විවෘත වනු ඇත.

කෙසේ වෙතත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ මේ වනවිට ඉතිරි වී ඇති ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 759කට අදාළ තරග අද සිට 24දා දක්වා මෙම කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අද පෙරවරු 6.30ට පැවැත්වෙන මීටර් 10,000 පිරිමි ඉසව්වත් සමඟින් උළෙලේ තරග ආරම්භවීමට නියමිතය. ඒ අනුව පළමු දිනයේදී (අද) මලල ක්‍රීඩා ඉසව් 14ක්, දෙවැනි දිනයේ ඉසව් 26ක් සහ තෙවැනි දිනයේදී ඉසව් 20ක් වශයෙන් මලල ක්‍රීඩා තරග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අවසන් දිනයේ (24දා) පෙරවරු 6.30ට පැවැත්වෙන මීටර් 10,000 කාන්තා ඉසව්වෙන් තරග ආරම්භ වී එදින අවසන් ඉසව් දෙක ලෙස පැවැත්වෙන්නේ මීටර් 4×400 කාන්තා සහ පිරිමි සහාය දිවීමේ තරග ඉසව් දෙකය.

මේ අතර අප වෙත වාර්තා වන පරිදි ටර්ක්මෙනිස්තානයේ පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ගයන්තිකා අබේරත්න, ඉඳුනිල් හේරත්, අමිල ජයසිරි, හිමාෂ ඒෂාන්, විදූෂා ලක්‍ෂානි සහ මංජුල කුමාර විජේසේකර යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද මෙම ජාතික ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිතය. එහිදී එකම රන් පදක්කම දිනාගත් ගයන්තිකා දකුණු පළාත නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන අතර, මෙම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් හය දෙනාම අද කටුනායක ගුවන් තොටුපළට පැමිණි විගස මෙම ක්‍රීඩාංගණය බලා පිටත්වන බවට වාර්තා වේ. තවද දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වීරසුමන වීරසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පෑමක් ලෙස දකුණු පළාත් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් කළුපටි පැලඳ මෙවර ක්‍රීඩා උළෙලට සහභාගිවීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට ඇත. මේ අතර මීටර් 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම්ලාභිනිය වන නිමාලි ලියනාරච්චි සහ දකුණු ආසියානු කෙටි දුර ධාවන ශූරිය රුමේෂිකා රත්නායක දෙදෙනා මේ වනවිට ජපානයට ගොස් ඇති බැවින් මෙම තරග බිමේදී දැකගැනීමට නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්