සම්මාන ඉතිහාසයේ වාර්තා තබමින් 'මද්දහනේ' සුමිත්ට සම්මාන පොකුරක්

  👤  1444 readers have read this article !
Published by : MB WEB 2017-10-05 17:56:30

මෙවර සුමති සම්මාන උළෙලේදී ඔබ ජයග්‍රහණ කිහිපයක්ම හිමි කර ගන්නවා. ඒ ගැන සතුටෙන් ඇත්තේ?

යහපත් හොඳ දෙයක් කළාම එයට ඇගයීමක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. සුභාවිත ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් මද්දහන ටෙලි නාට්‍යයට ඒ වගේ ඇගයීම් ලැබීම විශාල සතුටක්. සුභාවිත ටෙලි නාට්‍ය කලාව අභාවයට යමින්, විවිධ හැල හැප්පීම්වලට ලක් වෙමින් යද්දි තමයි මේ වගේ සුභාවිත ටෙලි නාට්‍යයකට මේ ජයග්‍රහණ හිමි වෙන්නේ.

හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරපිටපත, හොඳම ගීත රචනය, හොඳම නළුවා, කියන සම්මාන හතරක් ඔබට හිමි වෙනවා. සම්මාන ඉතිහාසයේ එකම පුද්ගලයකුට සම්මාන කිහිපයක් ලැබීම සුවිශේෂී දෙයක් නේද?

ඔව්. ඇත්තටම මම මද්දහන ටෙලි නාට්‍යයේ පිටපත ලිව්වා. ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කළා. ප්‍රධාන චරිතය වුණ සෝමසිරිගේ චරිතය නිරූපණය කළා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කාර්යයත් සිදු කළා. මම ඒ හතර වෙන වෙනම කළේ. ඒ අංශ හතරටම මට ඇගයීමක් ලැබුණා.

ඒ කියන්නේ ඒ හැම කාර්යකටම ඔබ උපරිම කැපවුණා කියන එකද?

නාට්‍යයක් හෝ චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක හෝ පිටපත අතිශයින් වැදගත්. පිටපත අසාර්ථක නම් බහුතරයක් නිර්මාණ අසාර්ථකයි. පිටපත හොඳට රචනා කරන්න, නාට්‍යයේ අන්තර්ගතය හකුළුවන රසවත් තේමා ගීතයක් ලියන්න, නළු කාර්යය කරන්න වගේම අධ්‍යක්ෂණ කාර්යයටත් මම ඉහළම දායකත්වයක් දුන්නා. ඒ දායකත්වය මත තමයි නිර්මාණය සාර්ථකත්වයක් ලැබුවේ. ඉතින් ඒ සාර්ථකත්වයට මේ ඇගයීම ලැබිය යුතු දෙයක් කියලා මම හිතුවා.

ඒ කියන්නේ මද්දහන වෙනුවෙන් සම්මානනීය බලාපොරොත්තු තියාගෙනද හිටියේ?

ඔව්. එවැනි ඇගයීමක් ලැබිය යුතුයි කියලා හැඟීමක් තිබ්බා. සම්මාන ලබන්න නෙවෙයි නිර්මාණ කරන්නේ. නමුත් සම්මානයකින් අපිව ඔසවා තබනවා. එය අපිට උත්තේජනයක්. මම ඉදිරිපත් වුණ අංශ හතරෙන්ම සම්මානනීය ඇගයුමක් මම බලාපොරොත්තු වුණා.

සමහරුන්ට සම්මාන උළෙල ගැන විවේචන තියෙනවා. බලාපොරොත්තු තිබ්බට සාධාරණ විනිශ්චයක් ලැබෙයි කියලා හිතුවද?

සම්මාන උළෙලේදී මද්දහන ටෙලි නාට්‍ය සම්මාන සඳහා නිර්දේශ කරලා තිබුණා. ඒකෙන් මද්දහන ඇගයීමකට ලක්වෙයි කියලා ඉඟියක් ලැබුණා. මගේ නාට්‍යයට එක සම්මානයක්වත් නොලැබුණත් සම්මානයට නිර්දේශ වීමත් මට සතුටක්. අපි නාට්‍යයක් සම්මාන උළෙලකට ඉදිරිපත් කරන්නේ විනිශ්චයට හිස නමන නිසා. නිර්දේශ වීමත් මට ප්‍රමාණවත්. එවන් පසුබිමක නාට්‍යයට අවශ්‍ය සාධාරණය ඉෂ්ට කළ එක ගැනත් මම අවංකවම සතුටු වෙනවා.

මද්දහනට සම්මානයක් නොලැබී වෙන කෙනෙක්ගේ නිර්මාණයකට සම්මානයක් ලැබුණා නම් අවංකවම ඔබට සතුටු වෙන්න පුළුවන්ද?

නොලැබුණා නම් අවංකවම සතුටු වෙන්න බෑ. හැබැයි මට සම්මානයක් නොලැබුණත් සම්මාන ලැබෙන අයට සුබ පතන්න පුළුවන්. කලාවේ යෙදෙනවා නම් ඒ කෙනා ඉස්සෙල්ලාම හොඳ මනුෂ්‍යයෙක් වෙන්න ඕන. හැමදෙයක්ම උපේක්ෂාවෙන් දරා ගන්න මම උත්සාහ කරනවා. මෙතැනදී අවසාන තීරණය තියෙන්නේ විනිශ්චය මණ්ඩලය අතේ. ඉතින් මට සම්මානයකට නිර්දේශ වීමත් වටිනවා.

බොහෝ අය කියනවා හැමදේම බදාගෙන කළොත් එක දෙයක්වත් හරියට කරන්න බෑ කියලා. හැබැයි ඔබ අංශ හතරකින් සම්මානනීය වීම තුළ ඒ කතාව බොරු කරනවා නේද?

අනිවාර්යයෙන්ම එය බොරුවක් කියන දේ මම ඔප්පු කළා.

අධ්‍යක්ෂණ කාර්යය කරන ගමන් මද්දහනේ සෝමසිරිගේ චරිතයටත් සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා ඔබට චකිතයක් තිබ්බෙම නැද්ද?

මම ළමා නාට්‍යවල රඟපාලා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය දෙකක් රඟපාන ගමන් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වේදිකාවෙන් ලබා ගත්ත පුහුණුව තිබ්බට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින්, අනෙක් චරිත මෙහෙයවමින් වගේම ටෙලි නාට්‍යයට අදාළ සෙසු කාරණා හිතමින් මගේ චරිතයත් සාර්ථකව කරන්න පුළුවන් වෙයිද කියන චකිතය මට තිබුණා. හැබැයි මට ආත්ම විශ්වාසයක් තිබ්බා මේ හැම කාර්යයක්ම මට කරන්න පුළුවන් වෙයි කියලා. අධ්‍යක්ෂවරයාගේ රිද්මය හරියට ගොඩ නැඟුණට පස්සේ තමයි මම සෝමසිරිගේ චරිතය කරන්න ගත්තේ.

සෝමසිරිගේ චරිතයට ඔබවම ගළපා ගෙනද පිටපත ලිව්වේ?

මම එක වැඩක් ඉවර කරලා තමයි තව වැඩක් කරන්නේ. පිටපත ලියද්දි මම නළුවෙක් කියන හැඟීම මට ආවේ නැහැ. ඒ පිටපත රචනා කරන වෙලාවේ මම තිර රචකයා. නළුවරණයේදී මම හිතුවා සෝමසිරිගේ චරිතය මම කරනවා කියලා.

ඒ චරිතයට සුදුසු වෙන නළුවෙක් නැති නිසාද ඒ තීරණය ගත්තේ?

අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, ගීත රචකයෙක් වෙන්න කලින් මම රංගන ශිල්පියෙක්. චරිතයට ගැළපෙන වෙන නළුවෝ හිටියේ නැත්තේ නැහැ. හැබැයි මට ආසාව තිබ්බා ඒ වගේ චරිතයක් කරන්න. මොකද එවැනි පරාසයක දිවෙන චරිතයක් මම කරලා තිබ්බේ නැහැ. ඒ නිසා සුමිත් රත්නායක කියන අධ්‍යක්ෂකවරයා සුමිත් රත්නායක කියන නළුවව ඒ චරිතයට සුදුසුයි කියලා තෝරා ගත්තා.

ඔබ වගේම ඔබේ නිර්මාණය සාර්ථක වෙන්න නිර්මාණයට දායක වුණ සෙසු ශිල්පීන්ගේ දායකත්වයත් වැදගත්. ඔවුන්ගෙන් නිර්මාණයට ලැබුණ සහයෝගය ගැනත් මතක් කළොත්?

මද්දහන ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ මහින්ද රණතුංග. ඔහු මගේ පාසල් මිතුරෙක්. මම පිටපත ලියද්දී ඔහු එහි නිෂ්පාදන කාර්යයට අතගහන්න කැමැති වුණා. ඒ නිසා ඔහුව ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම වේදිකාවේ කාලයක් වැඩ කරලා පරිචයක් තිබුණ දක්ෂ නළු නිළියන් තමයි මම මේ නිර්මාණයට තෝරා ගත්තේ. ඔවුන් මේ නිර්මාණයට උපරිම දායකත්වය දුන්නා. නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂවරයා තිසර තුල්වන්. දැන් ටෙලි නාට්‍ය රූගත කරන විදියෙන් වෙනස් දෙයක් මට ඕන කිව්වම ඔහු එකඟ වුණා. ඔහු ඒ කාර්යයට දුන් දායකත්වයත් විශේෂයි. මේ නිර්මාණය සංස්කරණය කළේ ජගත් වීරතුංග. අපි කාලය අරගෙන පස් වතාවක් විතර සංස්කරණය කරලා තමයි මේ නිර්මාණය කළේ.

ඔබ සිනමාවටත් අත ගැහුවා නේද?

ඔව්. මේ දවස්වල මම "රං කොල්ලා" කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. ශාන්ති දිසානායකගේ රං කොල්ලා කෘතිය ඇසුරෙන් තමයි මෙහි තිර පිටපත සකස් වෙන්නේ. දැන් චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. ලබන අවුරුද්දේදී චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ දැන් අනෙක් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්නේ නැද්ද?

මට සුදුසු චරිත ලැබුණේ නැහැ. දීර්ඝ නාට්‍යවලට නම් ප්‍රතිපත්තියක් විදියට සම්බන්ධ වෙන්නේ නැහැ. සුභාවිත නාට්‍යත් දැන් හැදෙනවා අඩුයි. ඉතින් මම ටිකක් තෝරලා බේරලා තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. වේදිකාවේ නම්, බුද්ධික දමයන්තගේ හැම්ලට් නාට්‍යයේ හැම්ලට්ගේ චරිතය මේ දිනවල නිරූපණය කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - කැලුම් චාමර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්