අපේ කටුගෙට නැති රට රටවල ඇති අපේ 'රජ' බඩු

  👤  1425 readers have read this article !
Published by : MB WEB 2017-10-08 15:45:40

වසර 44කට පසු රුසියානු රජයේ නිල ආරාධනයෙන් රුසියාවට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා අපූරු සිහිවටන තෑග්ගක් තිළිණ කළේය. ඒ එංගලන්ත කෞතුකාගාරයක තිබී 1906දී රුසියාව විසින් මිලදී ගත් මහනුවර යුගයට අයත් කස්තානයකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එය තමා සන්තකයේ නොතබාගෙන ජාතික උරුමයක් සේ සලකා පසුගියදා නිල වශයෙන් අපේ කෞතුකාගාරයට තිළිණ කළේය.

නමුත් අතීතයේ අපිට අසන්නට දකින්නට ලැබුණේ අධික තණ්හාව නිසා ජාතික කෞතුකාගාරයද කොල්ලකන පුවත්ය. 2011 වසරේ මාර්තු 16 වැනි දිනක කෞතුකාගාරයට ඇතුළු වී සොරුන් පිරිසක් රන් ආලේපිත කඩු කස්තාන 10ක්, රන්කාසි 93ක්, රිදී කාසි 50ක්, ඊයම් කාසි 09ක්, නෝට්ටු 34ක්, රිදී මුදු 18ක්, කානිගල් වර්ගයේ මැණික් ඔබ්බන ලද රන්මුදු 01ක්, නුගවෙල අධිකාරම්ගේ රන් කොපුව සහිත කඩුව, එතුමා භාවිත කළ මැණික් ඔබ්බවන ලද බස්තම් දෙකක්, රන් නූලින් කරන ලද බඳ පටියක් සොරාගත් පුවත් මාධ්‍යයෙන් පළවිණි.

මේ ලිපියෙන් කියවෙන්නේ විදෙස්හි ඇති අපේ රටේ කෞතුක භාණ්ඩ පිළිබඳවය.

"අද වනවිටත් අපේ කෞතුකාගාරයේ සුරැකිව තිබිය යුතු කෞතුක වස්තූන් රාශියක් තිබෙන්නේ අපේ රට ආක්‍රමණය කර බලහත්කාරයෙන් බලය අත්පත් කරගත් රාජ්‍යයන් ළඟය. මිනිසුන් ඝාතනය කොට රටවල් යටත් කරගත් චෝල, පාණ්ඩ්‍ය, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටේ කෞතුක භාණ්ඩ නැව් ගණන් ඔවුන්ගේ රටවලට ගෙන ගිය අතර ඒ පිළිබඳ ලිඛිත සාක්ෂියක් අපිට නැත."

දැනට පිටරටවල කෞතුකාගාරවල සුරැකිව තිබෙන භාණ්ඩ ගැන ලේඛනයක් ඇත්තේ 1956දී ශ්‍රී ලංකා කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ධුරයට පත් ජාත්‍යන්තර කෞතුකාගාර සංගමයේ සාමාජිකයකු වන පී.එච්.ඩී.එච්. ද සිල්වා මහතාට පින් සිදුවන්නටය.

එතුමා විසින් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් විදේශයන්හි ඇති කෞතුක භාණ්ඩ ගැන ලියූ ඒ CATALOGUE OF ANTIQUITIES AND OTRHER CLUTURAL OBJECTS FROM SRI LANKA (ceylon) ග්‍රන්ථයෙන් ලබාගත් තොරතුරුයි මේ.

වර්ෂ 1968දී කෞතුකාගාර අධ්‍යක්ෂවරයා වූ පී.එච්.ඩී.එච්. ද සිල්වා මහතා විවිධ රටවල පුස්තකාලාධිපතිවරුන්ගේද කෞතුකාගාර අධ්‍යක්ෂවරුන්ගේද සහාය ලබාගනිමින් රටවල් 27ක සංචාරය කොට කෞතුකාගාර හා ආයතන 140ක් නිරීක්ෂණය කොට ඒවාහි ඇති අපේ රටට අයිති පෞරාණික භාණ්ඩ 4,859ක් ගැන සවිස්තරාත්මකව පෙන්වා දුන්නේය. ඒවා අතර චිත්‍ර, පෞරාණික සිතුවම්, විවිධ ආභරණ, තල්පත්වලින් සකස් කරන ලද පුස්කොළපොත්, විවිධ ආයුධ, කඩු, හෙල්ල, බුදුපිළිම, ඇත්දළ කැටයම්, වෙනත් කැටයම් හා භාණ්ඩ රාශියක් ඇතුළත් විය.

කෞතුකාගාර අධ්‍යක්ෂ පී.එච්.ඩී.එච්. ද සිල්වා මහතා මෙම වාර්තාව පිළියෙල කිරීම සඳහා ඕස්ට්‍රේලියාව, ඔස්ටි්‍රයාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය, ගුවාන, මහා බි්‍රතාන්‍ය, හන්ගේරියාව, ඉන්දියාව, අයර්ලන්තය, කෙන්යාව, මුරුසිය, නෙදර්ලන්තය, තායිලන්තය, නවසීලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රොඩේසියාව, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල කෞතුකාගාර වෙත ගොස් ඡායාරූප හා විස්තර වාර්තා එක් කළේය. බොහෝ කෞතුක භාණ්ඩ ඔවුනට ලබාදුන් අය ගැනද තොරතුරු එහි ඇතුළත් විය. විවිධ කෞතුකාගාරවල ඇති ඇත්දළ කැටයම් පෙට්ටි, මංජුසා, බුදුපිළිම, ඇත්දළ පනා, කඩුකස්තාන, කාලතුවක්කු, වෙස්මුහුණු, පුස්කොළපොත් හා ඒවායේ ඇති විස්තරද සේයාරූ සහිතව සවිස්තරාත්මකව එතුමා විග්‍රහ කළේය. මේ ඉන් කීපයකි.

උණ බම්බු මූඩියක් සහිත පිට්ටු තැම්බීමට ගන්නා උපකරණයක් (දකුණු අප්‍රිකාවේ කටුගෙයක), ඇත්දළ කැටයම් කීපයක් (වියානාවේ), වෙස්මුහුණු (ස්ටැලිච් කටුගෙය), ඇත්දළ කරඬුවක් (මියුනිච්හි), පත්තිනි නොහොත් තාරා තඹ එබ්බූ පිළිමය (බි්‍රතාන්‍ය කටුගෙය ලන්ඩන්), කස්කස්තාන (ලන්ඩන් ටවර්හි), අවලෝකිතේශ්වර ඉඳි පිළිමයත්, සමන්ත භද්ද්‍ර (බි්‍රතාන්‍යයේ ලන්ඩන්) අවලෝකිතේශ්වර මහාරාජ මුද්‍රාවෙන් (ලන්ඩන්), වෙස් මුහුණත් පැරිසියේ ඇත්දළයෙන් කළ පෙට්ටගමක්, බි්‍රස්ටල්වල සමාධි පිළිමයක් (ස්කොට්ලන්තයේ කටුගෙයක) තිබී ඔහු විසින් නිරීක්ෂණය කළේය. ඉන්දියාවේ ඇසෑම් හාවට් කෞතුකාගාරයේ තිබී 1912 ශත 5 කාසි, සල්ලියේ කාසි (1926) ශ්‍රී ප්‍රතාප් ගාන්ධිනගර් ලියන ලද තල්පත් විශාල ප්‍රමාණයක්ද ඔහු විසින් පරීක්ෂාවට ලක් කර තිබිණි.

බැරෝඩ කෞතුකාගාරයේ ධම්මචක්කපවත්තන සූත්‍රය සිංහලෙන් සඳහන් පුස්කොළපොතක්, ඕලන්ද කෞතුකාගාරයේ තිබුණු තල්පතක උපතිස්ස රජුගේ සිට රාජාධි රාජසිංහ දක්වා වූ රාජපදවිප්‍රාප්තිය ලියැවී තිබිණි. ඒ තල්පත ගැන මෙසේ සඳහන් වේ.Palm leaf in sinhala script gives the periods of reign of the kings of ceylon from king Upatissa to king Rajadhi Rajasinha.

"ඔෟවුරුදු දෙදහස් තුන්සිය හතළිස් හයකට යට ලාට නන් දේශයට ඇතුළත් වූ සිංහ පුරයෙහි රජ කළ සිංහබාහු රජ්ජුරුවන් වහන්සේගේ දෙතිසක් පමණ කුමරුන්ට වැඩිමහලු විජයරාජ කුමරු සත් සියක් පමණ යෝධයන් සමඟ මේ ලංකාවට පැමිණ රජ රට නොහොත් පිහිටි රට තාඹුපණී නම් නුවරක් කරවා මේ ලක්දිව යකුන් දුරුකොට තිස් අට ඔෟරුද්දක් රාජ්‍ය කළහ." උපතිස්ස රජුගේ සිට රාජාධි රාජසිංහ රජු දක්වා රජවරුන්ගේ නාමාවලිය එම තල්පතේ දැක්වේ. එසේම 18 වැනි ශතවර්ෂයේ සිංහල හෝඩිය ගැන (අසම්පූර්ණ පිටු 4ක්) සද්ධර්මරත්නාවලිය පිටපත්, ධර්මප්‍රදීපිකාව, සිංහල ජාතක පොත, උම්මග්ග ජාතකය, වෙස්සන්තර ජාතකය ආදියෙහි පිටපත්ද වැලිවිට සරණංකර හිමිගේ කාව්‍ය සංග්‍රහ අඩංගු පුස්කොළපොත් පැරීසියේ රියූ ඩී. රිචෙල්ට් ආයතනයේ සංරක්ෂිතව පවතී. පී.එච්.ඩී.එච්. සිල්වා මහතා විසින් රචිත පිටු 506කින් සමන්විත විදේශයන්හි තිබෙන ශ්‍රී ලංකාවේ කෞතුක වස්තු හා වෙනත් දෑ කෘතියේ සවිස්තරාත්මකව මේ තොරතුරු විග්‍රහ කර ඇත.

වර්තමාන බලධාරීන්ගේ යුතුකම වන්නේ මෙවැනි විදේශයන් සතු පුරාවස්තු, ලිපි ලේඛන අදාළ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කොට ලබා ගැනීම හෝ ඒවායේ පිටපත් ආකෘතින් ලබා ගැනීමට කටයුතු කිරීමය.

මහේන්ද්‍ර රන්දෙණිය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්