ශ්‍රී ලංකාව පළමු ඉනිම 482යි

  👤  1250 readers have read this article !
Published by : MB WEB 2017-10-09 13:02:10

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පළමු වරට පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබා සිටියේය.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් ලබාගත්තේය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු දිවා/රාත්‍රි තරගයේදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට දිමුත් කරුණාරත්නට හැකිවූ අතර, හතරේ පහර 19ක් හා එක් හයේ පහරක් සමඟින් ඔහු ලැබූ ලකුණු 196 ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ලකුණු ප්‍රමාණය බවටත්, මෙතෙක් පැවැති දිවා/රාත්‍රි ටෙස්ට් තරගවලදී පිතිකරුවකු ලබාගත් තෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය බවටත් එය පත්විය.

කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කරුණාරත්න හා කෞෂල් සිල්වා පළමු කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් පවත්වමින් සිටියදී යසීර් ෂාගේ පන්දුවක් හමුවේ සර්ෆ්‍රාස් අහමඩ්ට උඩපන්දුවක් ලබා දීමෙන් සිල්වා ලකුණු 27කට දැවී ගියේය.

සිල්වාගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වර්ණ දිනාගත් 143වැනි ක්‍රීඩකයා ලෙස පත්වූ සධීර සමරවික්‍රම වේගවත් ඉනිමක නිරතවෙමින් පන්දු 35කදී ලකුණු 38ක් ලබාගත් අතර, එයට හතරේ පහර 5ක් හා එක් හයේ පහරක්ද අන්තර්ගත වී තිබිණි. ඔහු (සමරවික්‍රම) කරුණාරත්න සමඟින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 සබඳතාවක්ද එක්කිරීමද කැපී පෙනුණි.

කෙසේ වුවත් ඉන් අනතුරුව පැමිණි කුසල් මෙන්ඩිස්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් යසීර් ෂා මෙම තරගාවලියේදීම අසාර්ථකත්වයට පත්ව සිටින මෙන්ඩිස් එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යැවීමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 136ක් ලෙස දැක්විණි.

ඉන් අනතුරුව කරුණාරත්නට එක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී ටෙස්ට් දිවියේ 7වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට කරුණාරත්න සමත් විය.

කරුණාරත්න හා ශ්‍රී ලංකා නායකයා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සබඳතාවක් එක්වෙමින් තිබියදී චන්දිමාල් ලකුණු 62කට දැවී ගියේය.

එහෙත් චන්දිමාල් එසේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ දැවී ගිය බව විනිසුරු තීරණය කළද පුනරූපනවලින් දැක්වුණේ ඔහු දැවී ගිය ක්‍රීඩකයකු නොවන බවය.

කෙසේ වුවත් චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 52ක් එක්කළ අතර, එය දික්වැල්ලගේ 7වැනි ටෙස්ට් අර්ධ ශතකය බවටද පත්විය.

දික්වැල්ල ලකුණු 52කට දැවී ගියද ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 7 ක්‍රීඩකයා ලෙස පැමිණි දිල්රුවන් පෙරේරා ඔහුගේ ටෙස්ට් දිවියේ 6වැනි අර්ධ ශතකය ලබාගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම 450න් ඔබ්බට රැගෙන ගියේය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්