ශ්‍රී ලංකාවේ රෝස පන්දුවේ මංගල ගමන සාර්ථක වන ලකුණු

  👤  1682 readers have read this article !
Published by : MB WEB 2017-10-10 10:16:44

සිරිනාම රාජපක්‍ෂ ඩුබායි නුවර සිට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පළමු වරට පැවැත්වෙන දිවා/රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 317ක ඉලක්කයක් පසුපස හඹා යන පාකිස්තාන කණ්ඩායම සිවුවැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 1ක් දැවී ලකුණු 15ක් ලබා සිටියේය.

පළමු ඉනිමේදී ලැබූ ලකුණු 220ක වාසියත් සමඟින් දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනයේ තරගය නතර කරන විට කඩුලු 5කට ලකුණු 34ක් ලබා සිටි අතර, ඊයේ සිවුවැනි දිනයේ තරගය ආරම්භ වී පැයක පමණ කාලයකදී සියලු දෙනා ලකුණු 96කට දවාගන්නට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ලකුණු 96කට කඩුලු 7ක් වූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු තුන හැරිස් සොහෙල් යැවූ එක් පන්දුවාරයක් තුළ බිඳ වැටීමද විශේෂත්වයකි.

මේ අතර ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ලකුණු 96 ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තාන කණ්ඩායමක් හමුවේ ලැබූ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව බවටද පත්වී තිබිණි.
පාකිස්තානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස සාමි අස්ලාම් එක් ලකුණකට දවා ගත් ගමගේ පාකිස්තානු පිලට පළමු අනතුරු ඇඟවීම සටහන් කළේය. කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය නතර කරන විට ෂාන් මෂූඩ් නොදැවී ලකුණු 3ක් හා අසාර් අලී නොදැවී ලකුණු 9ක් ලබා සිටියේය.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් ලබාගත්තේය. එයට පිළිතුරු සැපයූ පාකිස්තානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 262කි.

කෙසේ වෙතත් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබුණද දෙවැනි ඉනිම සඳහා යළිත් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළේය.

එහෙත් එම තීරණය නිවැරැදි නොවන බව පෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 3දිත්, දෙවැනි හා තෙවැනි කඩුලු ලකුණු 22දී හා 26දීත් දැවී ගියේ පීඩනය ලංකාවට දෙසට බර කරමිනි.

එය තවත් ත්‍රීව්‍ර කරමින් සිවුවැනි කඩුල්ල ලෙස ලක්මාල් එක් ලකුණකටත්, නායක චන්දිමාල් ලකුණු නොලබාත් දැවී යන විට පෙරේදා දිනයේදී එනම් තෙවැනි දිනයේදී තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 34ක් ලෙස දැක්විණි.

මේ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස්ට එකතු වූ දික්වැල්ල හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක සබඳතාවක් එක්කළද දික්වැල්ලගේ (21) දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා පසුපෙළ කඩුලු ඉක්මනින්ම බිඳ වැටිණි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ මෙන්ඩිස් ලකුණු 29ක් ලබාගත් අතර, පසුපෙළ ශක්තිමත් කළ රංගන හේරත් වේගවත් ලකුණු 17ක් ලබාගත්තේය.

අද තරගයේ අවසන් දිනයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්