පාසල් දරුවන්ගේ ලිංගික ප්‍රහාර පිළිබඳව බීබීසී වාර්තාවක්

  👤  1303 readers have read this article !
Published by : MB WEB 2017-10-10 18:07:41

බාල වයසේ පාසල් දරුවන් සම වයසේ පාසල් සගයන්ට එරෙහිව සිදු කරන ලිංගික හිරිහැර වේගයෙන් ඉහළ යමින් පවතින බව පොලිස් වාර්තා තුලින් පෙන්නුම් කෙරෙන බව බීබීසිය මගින් සිදු කරන ලද ගවේෂණයක දී අනාවරණය වී ඇත.

පාසල් පන්ති කාමර තුළ සහ ක්‍රීඩා පිටියේ දී එවැනි අතවර වලට ලක් වූ දරුවන් රාශියක් බීබීසියට ඔවුන්ගේ අමිහිරි අත්දැකීම් විස්තර කරති.

සිය සැබෑ නමින් නොව ආරූඪ නමකින් පෙනී සිටින එමිලි (Emily) නම් දැරිය සිය පන්තියේ පිරිමි ළමයකුගේ ලිංගික අතවරයකට ලක් වනු එම පන්ති කාමරයේ ම ඉදිරි කෙළවරේ සිටි ගුරුවරයා හෝ ගුරුවරිය දැක නැත.

එම අතවරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව සිය පන්තියේ සෙසු ළමුන් ද තමාට හිරිහැර කිරීමට පටන් ගත් බවත් 'එමිලි' පවසන්නීය.

"ළමයි දහයක් පහළොවක් විතර එකතු වෙලා මට බණින්න පටන් ගත්තා. මම ඉදිරියේ කෑ ගැහුවා. අසභ්‍ය වචන කිව්වා. ඔවුන් කිව්වේ මට ලිංගික හිරිහැර කරපු පිරිමි ළමයා මාව දූෂණය කළානම් වඩාත් හොඳයි කියලයි. ඒ ළමයි බලහත්කාරයෙන් මගේ ෆොටෝ ගත්තා. මම බොරුකාරියක් කියල අපහාස කළා" හිංසනය පිළිබඳව පොලිසියට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම් 'එමිලි' දීර්ඝ වශයෙන් විස්තර කළාය.

එම දුෂ්කර තත්වය හමුවේ සිය පාසලේ විදුහල්පතිවරයා පවා තමාට අනුකම්පාවක් නොදැක්වූ බව එමිලි පවසන්නීය.

"විදුහල්පතිතුමා කිව්වා - මේක ඔබට යෝග්‍ය පාසල නොවන්න පුළුවන් -ඒ නිසා ඔබට මෙහෙන් යන්න පුළුවන්ය කියල. අලුත් ආරම්භයක් සඳහා ඔබට ශුභ පතනවා කියලත් ඔහු කිව්වා"

2103-14 අධ්‍යාපන වර්ෂයේ පටන් 2016-17 වර්ෂය වන විට එංගලන්තයේ සහ වේල්සයේ පාසල්වල වයස අවුරුදු දහඅටට අඩු සිසුන් එම වයසට අයත් සෙසු සිසුන්ට සිදු කරන ලද ලිංගික හිරිහැර 71% කින් වැඩි වී ඇති බව තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ලබාගත් වාර්තා මගින් පැවසෙයි.

සංඛ්‍යාත්මක වශයෙන් බලන විට එය සිදුවීම් 4,063 සිට 7,866 ක් තෙක් වැඩි වී ඇත.

ඉහත කී කාලය ඇතුළත වයස අවුරුදු දහඅටට අඩු වයසේ පාසල් සිසුන් විසින් සිදු කරන ලද දූෂණය කිරීම් 46% කින් වැඩිවී ඇත.

සංඛ්‍යාත්මක දූෂණ අපරාධ සංඛ්‍යාව 1,521 සිට 2,223 තෙක් වැඩි වී ඇත.

2013-14 වසරට සාපේක්ෂව බලන විට 2016-17 වසරේ දී පාසල් ගොඩනැගිලි තුළ සිදු කර ඇති ලිංගික අපචාර සංඛ්‍යාව 386 පටන් 922 තෙක් වැඩි වී ඇත.

අදාළ වසර හතර ඇතුළත පාසල් භූමියේදී දූෂණය කිරීම් 225 ක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

ළමා ආරක්ෂාව භාර පොලිසියේ ප්‍රධානී සයිමන් බේලි (Simon Bailey) මෙසේ පවසයි.

" අපි දකින්නේ මුහුදේ යෝධ අයිස් කුට්ටියක ඉහළ තුඩ විතරයි. එවැනි ලිංගික ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන වාර්තා වැඩි වෙමින් පවතිනවා. හානිකර ලිංගික හැසිරීම් පිළිබඳ නිදසුන් අපට දකින්න ලැබෙනවා. මේ ලිංගික අපචාර නිසා ඒවාට ගොදුරු වෙන ළමුන්ගේ ජීවිත සිත් කම්පා වෙන මට්ටමින් විනාශ වෙනවා"

ජේම්ස් සහ ඇනා ගේ දියණිය 'බෙලා' (Bella) පාසල් ක්‍රීඩාංගණයේ දී පිරිමි ළමුන් දෙදෙනකු විසින් සති හයක පමණ කාලයක් ලිංගික හිරිහැරවලට ලක් කරනු ලබන විට ඇය හය හැවිරිදි දැරියක වූවාය.

"මගේ දුව අඬා වැටුනා. දැන් තමයි ඇය කතාව කියන්නේ" ඇනා පවසයි.

ඇනා සහ ජේම්ස් කෙළින්ම ගියේ පොලිසියටයි. එහෙත් 'බෙලා'ට අතවර කළ පිරිමි ළමුන් දෙදෙනා බාල වයස්කරුවන් වන හෙයින් අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

එම අපරාධය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් තැබීම සඳහා පවා තමන්ට සටනක් කිරීමට සිදු වූ බව ඇනා සහ ජේම්ස් පවසති.

පාසල සිය දරුවාට අවශ්‍ය රැකවරණ සැපයීමට අසමත් වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පාලන අධිකාරියට එරෙහිව නෛතික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඇනා සහ ජේම්ස් දැන් කටයුතු කරමින් සිටිති.

2013 මාර්තු මාසයේ පටන් ලිංගික වැරදි ක්‍රියා සිදු කළ වයස අවුරුදු දහයට අඩු ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 1,852 ක් පොලිසියට ලැබී ඇත.

එක් පැමිණිල්ලකට අනුව උතුරු එංගලන්තයේ පාසලක වයස අවුරුදු හතරක ළමයකු වයස අවුරුදු පහක පිරිමි දරුවකුට ලිංගික ප්‍රහාරයක් එල්ල කර ඇත.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව වැඩිහිටියකු විසින් සිදු කරන ලද ලිංගික හිංසනයක් පිළිබඳව වාර්තා කිරීම ගුරුවරුන්ගේ වගකීමක් වන නමුත් පාසලක දී ළමයකුට එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක ගුරුවරුන්ට ඒ ගැන පියවර ගැනීමේ නෛතික බැඳීමක් නොමැත.

"පාසලට සහ පාසල් ප්‍රධානීන්ට අවශ්‍ය කරන්නේ තත්වය නිවැරදි කරන්නයි. නමුත් ඒ සඳහා අවශ්‍ය උදව් ආධාර ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එංගලන්තයේ සහ වේල්සයේ මුල්ගුරු ජාතික සම්මේලනයේ ප්‍රතිපත්ති උපදේශිකා සාරා හනාෆින් (Sarah Hannafin) බීබීසියට ප්‍රකාශ කළාය.

"අනුගමනය කළ යුතු සුවිශේෂී ක්‍රියාමාර්ගයන්හි කොන්දේසි නිරවුල් කර ගැනීම සඳහා පාසල් පරිපාලනය විසින් ගත යුතු තවත් පියවර තිබෙනවා" සාරා හනාෆින් (Sarah Hannafin) වැඩිදුරටත් පවසන්නීය.

ළමුන්ගේ ලිංගික ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පදනම් කර ගනිමින් නඩු පවරනු ලැබීම ඉතා දුෂ්කර කාරණයක් වී ඇති බව ළමා ආරක්ෂාව භාර පොලිසියේ ප්‍රධානී සයිමන් බේලි (Simon Bailey) පෙන්වා දෙයි.

එහෙත් ලිංගික ප්‍රහාර අපරාධයක් වන අතර එවැනි චෝදනා ඉදිරිපත් වුනොත් ඒවා පොලිසියට වාර්තා කළ යුතු බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

"පාසල ආරක්‍ෂිත තැනක් විය යුතුයි. ළමුන්ගේ ආරක්ෂාව සැලසීම පාසලේ වගකීමක්. සිසුන් ඉදිරිපත් කරන ඕනෑම දුක්ගැනවිල්ලක් පාසල් පරිපාලනයේ අවධානයට ලක්විය යුතුයි" ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශයයි.

 

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්