හිස් අතින්ම මැද පෙරදිගට ආපු ලංකාව ඩුබායි හිදී ටෙස්ට් මල්ල පුරවා ගනී

  👤  1447 readers have read this article !
Published by : MB WEB 2017-10-11 09:53:19

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 68කින් පාකිස්තානය පරාජය කළ දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සහභාගි වූ මංගල දිවා-රාත්‍රි ටෙස්ට් තරගයෙන්ම ජයග්‍රහණය වාර්තා කළ අතර වසර 16ක පාකිස්තානයට සත්කාරය සලසමින් ගෙවුණ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට තරගාවලි පරාජයක් (සියලු තරග පරාජය ලබමින්) උරුම කළ පළමු අවස්ථාවද සටහන් කළේය. දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් සත්කාරක පාකිස්තාන් පිලට ලැබුණද ඊයේ දිවා භෝජනයට පෙර ඔවුන්ගේ කඩුලු 10ම පන්දුවාර 90යි පන්දු 2කදී ලකුණු 248කට දැවී යෑම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන්ද 2-0ක් ලෙස තරගාවලියෙන්ද ඔවුන්ට පරාජය අත්විය.

ඊයේ දිනයේ 4 වැනි පන්දුවාරයේ එනම් 77 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී අසාඩ් ෂෆීක් තම 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර දිල්රුවන් පෙරේරා යැවූ එම පන්දුවාරයේම අවසන් පන්දුවේදී ශතකය ලබා සිටි ෂෆීක් ලබා දුන් උඩපන්දුව පළමු ස්ලිප්හි සිටි දිමුත් කරුණාරත්න විසින් අත්හරින ලදී. පන්දු 151කදී ශතකය සම්පූර්ණ කරන්නට ඊයේ ඔහුට තවත් ලකුණු 16ක් පමණක් අවශ්‍යව තිබූ අතර පෙරේදා තරගය නතර කළ ලකුණු 198 සිට මුළු ලකුණු 225ක්ව සිටියදී ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස නායක අහමඩ් දැවී යන විට අසාඩ් ෂෆීක් සමග 6 වැනි කඩුල්ල සඳහා 173ක සබඳතාවක් තබා තිබුණි.

79 වැනි පන්දුවාරය යැවූ දිල්රුවන්ගේ 6 වැනි පන්දුවට ස්වීප් පහරක් එල්ල කරන්නට ගොස් ඩීප් බැක්වර්ඩ් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ප්‍රදීප්ට උඩපන්දුවක් ලබා දීම නිසා පන්දු 130කට මුහුණ දෙමින් ලකුණු 68ක් ලබා සිටියදී පාකිස්තාන් නායකයා දැවී යෑමෙන් පසුව යළිත් ඉනිමේ 81 වැනි පන්දුවාරය යැවූ දිල්රුවන්ගේ 5 වැනි පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මෙහෙමෙඩ් අමීර් ලකුණු 4කට දැවී ගියේ ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් බැගින් ලබා ගත් 5 වැනි අවස්ථාව දිල්රුවන්ගේ නම ඉදිරියේ සටහන් කරමිනි. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වලතා හේතුවෙන් ලකුණු 26දී සහ ලකුණු 100දී තිබූ බාධකවලින් ගැලැවුණු ෂෆීක් පාකිස්තාන් පිලේ බර කරට ගෙන යසීර් ෂා සමඟ එක්ව සටන් කරමින් සිටියදී 87 වැනි පන්දුවාරය යැවූ හේරත්ගේ පස්වැනි පන්දුවට ලකුණු 5ක් ලබා සිටි ෂා දික්වැල්ල විසින් ස්ටම්ප් කිරීමකට හසුකර ගන්නා විට මෙම තරගයේ හේරත්ගේ පළමු කඩුල්ල සටහන් විය.

ඉන් අනතුරුව ෂෆීක් සහ වහබ් රියාස් අතර සම්බන්ධය එක් ලකුණකටවත් ඉඩ නොදුන් සුරංග ලක්මාල් හේරත්ට පසුව යැවූ ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම අසාඩ් ෂෆීක් ලකුණු 112කට දවා ගත්තේ ස්ලිප්හි සිටි කුසල් මෙන්ඩිස් දක්‍ෂ ලෙස උඩපන්දු රැකීමකද නිරත වූ නිසාය. ඒ අනුව 9 වැනි කඩුල්ල ලෙස ෂෆීක් දැවී යන විට හතරේ පහර 10ක් සහිතව පන්දු 176කට මුහුණ දී සිටි අතර මුළු ලකුණු සංඛ්‍යාව 244ක් විය. ඉන් පසුව රියාස්ට එකතුවූ මෙහොමඩ් අබ්බාස් දෙදෙනා එක්ව තවත් ලකුණු 4ක් මුළු ලකුණු සටහනට එක්කර සිටියදී දෙවැනි ඉනිමේදී තම 23 වැනි පන්දුවාරය යවමින් සිටි හේරත්ගේ 2 වැනි පන්දුවට එක්ස්ට්‍රා කවර්හි සිටි ශ්‍රී ලංකා නායකයාට උඩපන්දුවක් දීමෙන් ලකුණු 1කට දැවී ගියේ ඓතිහාසික ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවා-රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගත් බවට සටහන් කරමිනි. කෙසේ වෙතත් ඊයේ අවසන් වූ 2 වැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද හිමිකර ගත්තේ දිමුත් කරුණාරත්න විසිනි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම - 482
දෙවැනි ඉනිම - 96
පාකිස්තානය පළමු ඉනිම _ 262
දෙවැනි ඉනිම
ශාන් මසූඩ් ඇ. දික්වැල්ල ප. දිල්රුවන් 21
සැමි අස්ලාම් ඇ. මෙන්ඩිස් ප.ගමගේ 01
අසාර් අලි ඇ. කෞෂාල් ප.ප්‍රදීප් 17
හැරිස් සෙහේල් ඇ. දික්වැල්ල ප. දිල්රුවන් 10
අසාඩ් ෂෆීක් ඇ. මෙන්ඩිස් ප. ලක්මාල් 112
බාබර් අසාම් ඇ. කෞෂාල් ප. දිල්රුවන් 00
සර්ෆ්රාස් ඇ. ප්‍රදීප් ප. දිල්රුවන් 68
අමීර් ක.මු.ක. ප. දිල්රුවන් 04
යසීර් ෂා ස්ටම්ප් කළා ප. හේරත් 05
වහබ් රියාස් ඇ. චන්දිමාල් ප. හේරත් 01
මොහොමඩ් අබ්බාස් නොදැවී 03
අතිරේක 06
එකතුව
(පන්දුවාර 90.2කදී කඩුලු 10කට) ලකුණු 248

කඩුලු වැටීම - 1-5, 2-36, 3-49, 4-52, 5-52, 6-225,
7-230, 8-244, 9-244, 10-248

පන්දු යැවීම - සුරංග ලක්මාල් 14-4-35-1
නුවන් ප්‍රදීප් 11-3-21-1, රංගන හේරත් 22.2-3-57-2
ළහිරු ගමගේ 16-5-29-1, දිල්රුවන් පෙරේරා 26-1-98-5

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්