බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව උනන්දුවක් නෑ

  👤  1591 readers have read this article !
Published by : MB WEB 2017-10-12 09:47:32

තිළිණි කෞශල්‍යා විජේසිංහ

පෞද්ගලික ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් වහා මාධ්‍ය ප්‍රචාරයක් දී පුද්ගලයන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්න දක්වන උනන්දුව බැඳුම්කර සොරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට නෑ.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (11දා) පිවිතුරු හෙළ උරුම නායකයන් සමඟ අක්‍ෂිදාන පොරොන්දු පත්‍ර භාරදීමට අක්‍ෂිදාන සංගමයට ගිය අවස්ථාවේදීය. මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

බැඳුම්කර කොමිසමට ඒ ඒ අය ගෙන ගොස් ප්‍රශ්න කළ යුතුයි. නමුත් ප්‍රශ්න කරනවා මිසක් එතැනින් එහාට කිසිම දෙයක් සිදු වන්නේ නැහැ. දකුණු ආසියාවේ වාර්තා වුණු ලොකුම හොරකම පිළිබඳව මේ වෙනකොට කිසිම කෙනෙක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරලාවත් කිසිම කෙනකුගේ දේපළ තහනම් කරලාවත් නැහැ"
"මේක නාට්‍යයක් පමණක් නොවන්නේ නම් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ ජනාධිපති කොමිසමක්. මේ කොමිසමෙන් දඬුවම් කරන්න බැහැ. තොරතුරු හොයා වාර්තා කරන්න පමණයි පුළුවන්. අපරාධය සිදුවී වසර දෙකහමාරක් ගියත් තාමත් නිසි පොලිස් විමර්ශනයක් ආරම්භ නොවීම අපිට විමතියක්."

"බැඳුම්කර හොරු කොමිසමට ආවෝ ගියෝ කියලා කට ඇරගෙන බලන් හිටියට ඒ හැම මුදලක්ම වියදම් කරමින් අදාළ අය පුවත්පත් මිලදී ගන්නවා. රූපවාහිනි ගන්නවා. ස්කාගාර ඉදිකරනවා. දේශපාලනඥයන්ට යහමින් සල්ලි වියදම් කරනවා. මේක නතර නොකර මේ විමර්ශන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. බැඳුම්කර විමර්ශන කොමිසමට ප්‍රශ්න කරන්න ගෙනෙන එක හොඳයි. හැබැයි ඔය කොමිසමට වඩා පොලිස් විමර්ශනය ආරම්භ කිරීම අතිශයින්ම වැදගත් බව ද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්