ඩුබායි හිදී වූ දේම අබුඩාබියේදීත් වෙයි

  👤  1765 readers have read this article !
Published by : MB WEB 2017-10-17 09:46:41

සිරිනාම රාජපක්‍ෂ අබුඩාබි නුවර සිට..

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 150වැනි එක් දින තරගය ලෙස ඊයේ අබුඩාබි හිදී පැවැති මෙවර තරගාවලියේ 2වැනි එක්දින තරගයේදීද ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරාජයට පත්වූයේ මෙම අබුඩාබි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිලක් එක්දින තරගයකදී ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමෙනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 9කට ලකුණු 219ක් ලබා ගත්තද ශ්‍රී ලංකාව පන්දුවාර 48කදී ලකුණු 187කදී දැවී ගිය නිසා පළමු ඩුබායි තරගයේදී මෙන්ම මෙහිදීද පරාජය වූයේ නොකඩවා ලැබූ 9වැනි එක්දින පරාජයද වාර්තා කරමිනි. 

පිළිතුරු ඉනිමට පැමිණි දික්වැල්ල සහ තරංගගේ ආරම්භය ලකුණ 10කට පමණක් සීමා කරන්නට 3වැනි පන්දුවාරය යැවූ ජුනයිඩ් ඛාන් සමත් වූයේ පන්දු 7කට මුහුණ දී ලකුණු 3ක් ලබා සිටි දික්වැල්ල කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමෙනි. ඉන් පසුව නායක තරංගට එක්වු කුසල් මෙණ්ඩිස් යළිත් අසාර්ථක වෙමින් 11වැනි පන්දුවාරයේ හසන් අලි යැවූ පළමු පන්දුවේදී ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ශේසාඩ්ට උඩපන්දුවක් දීමෙන් ලකුණු 10කට දැවී ගිය අතර තරංග ලකුණු 13ක් හා 20ක් ලබා සිටියදී දුන් උඩපන්දු පිළිවෙළින් සදාබ් ඛාන් හා බාබර් අසාම් අත්හැරියහ. එහෙත් පන්දු 34කදී ලකුණ 12ක් ලබා සිටි තිරිමාන්න 23වැනි පන්දුවාරයේදී මලික් හමුවේ කඩුල්ල මුවා කොට දැවී යෑමෙන් පසුව පැමිණි චන්දිමාල්ටද සදාබ් ඛාන්ගේ ගුග්ලි පන්දුවෙන් ගැලැවීමට නොහැකි වීමෙන් ලකුණු 2කට දැවී ගියේය.

පසුව පැමිණි මිලින්ද සහ තිසර එකම ආකාරයෙන් දැවී ගිය අතර ධනංජයද දැවී යෑමෙන් පසුව පැමිණි වැන්ඩර්සේ නායකයා සමග ලකුණු 76ක සබඳතාවක් ගොඩනැගූ අතර තුර තරංග තම 15 වැනි එක් දින ශතකය සම්පූර්ණ කළේය.

ඉන් පෙර ඉනිමේ 4වැනි පන්දුවරය යැවූ ළහිරු ගමගේගේ 3වැනි පන්දුවට පළමු ස්ලිප්හි සිටි කුසල් මෙණ්ඩිස්ට උඩපන්දුවක් දීම නිසා පන්දු 13කදී ලකුණු 11ක් ලබා සිටි ෆාකාර් සමාන් දැවීයෑමෙන් පාකිස්තාන් ආරම්භය ලකුණු 17කට සීමා වූ අතර තවත් ලකුණු 10ක් මුළු ලකුණු සංඛ්‍යාවට එක්වෙද්දී අනෙක් ආරම්භක පිතිකරුවා වූ අහමඩ් ශේසාඩ් ලකුණු 8කට සුරංග ලක්මාල් විසින් දවා ගන්නා ලදී. පන්දු 17කට මුහුණ දී සිටි ශේසාඩ් එසේ 7වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවට යළිත් අසාර්ථක වූ පිතිකරුවෙක් ලෙස දැවී යෑමෙන් පසුව පසුගිය තරගයේ ශතකලාභියාවූ බාබර් අසාම්ට එක්වූ මොහොමඩ් හෆීස් දෙදෙනා එක්ව මුළු ලකුණු 40ක් දක්වා ගෙනැවිත් තිබියදී පන්දු 11කින් ලකුණු 8ක් ලබා සිටි හෆීස් දවා ගැනීමට ගමගේ සමත් විය.

බාබර්ට එකතුවූ ෂොයිබ් මලික් දෙදෙනා මුළු ලකුණු 71ක් දක්වා ගෙන තිබියදී ඉනිමේ 18වැනි පන්දුවාරයේ හෙවත් තිසරගේ 2වැනි පන්දුවාරයේ පළමු පන්දුවට දික්වැල්ල අතට උඩපන්දුවක් දීමෙන් මලික් ලකුණු 11කට දැවී ගියේය. මලික්ගේ ඉනිම පන්දු 11කට සීමා කිරීමෙන් අනතුරුව නායක සර්ෆ්‍රාස් අහමඩ් පැමිණියද ඔහුට පන්දු 14කට වඩා රැඳී සිටීමට ඉඩ නොදුන් තිසර යළිත් ක්‍රියාත්මක වෙමින් තම 2වැනි කඩුල්ල සටහන් කර ගත්තේ පිත්තේ වැදුණ පන්දුව කඩුල්ලේ වැදීමට සැලැස්වීමෙනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවීමේ සහ පන්දු රැකීම් හමුවේ පාකිස්තාන් පිලට ලකුණු 100ක් ලබා ගැනීම සඳහා පන්දු වාර 27ක්ම වැයකිරීමට සිදුවූ අතර 28වැනි පන්දුවාරය යැවූ වැන්ඩර්සේ විසින් ලකණු 10ක් ලබා සිටි ඉමාඩ් වසීම් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේ තෙවැනි විනිසුරුගේද සහයෝගය ඇතිවය. වසීම් 6වැනි කඩුල්ල ලෙස දැවී යන විට පාකිස්තාන් ලකුණු පුවරුව 101ක් ලෙස කියැවුණු අතර වසීම්ගේ දැවී යෑමෙන් පසුව බාබර් සහ ෂදාබ් ඛාන් එක්ව පාකිස්තාන් ලකුණු පුවරුව සෙමෙන් වුවත් ස්ථාවර කරමින් 7වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගු අතර එය පාකිස්තාන් ඉනිමේ ඊයේ දුටු ඉහළම ලකුණු සබඳතාවද විය. ඒ වන විට බාබර් නොකඩවා ලැබූ 2වැනි ශතකය මෙන්ම තම 7වැනි එක් දින ශතකයද පන්දු 130කදී වාර්තා කර දැවී යද්දී ෂදාබ් තම මංගල එක්දින අර්ධ ශතකය පසුකොට නොදැවී සිටියේය.

ලකුණු සාරාංශය

පාකිස්තානය (පන්දුවාර 50කදී කඩුලු 9කට) 219 (බාබර් අසාම් 101, ෂදාබ් ඛාන් නොදැවී 52, ෆාකාර් සමාන් 11, ෂොයිබ් මලික් 11, ළහිරු ගමගේ 57/4, තිසර පෙරේරා 34/2, සුරංග ලක්මාල් 42/1, වැන්ඩර්සේ 44/1)

ශ්‍රී ලංකාව (පන්දුවාර 48කදී සියලු දෙනා දැවී) 187 (උපුල් තරංග නොදැවී 112, වැන්ඩර්සේ 22, ලහිරු තිරිමාන්න 12, කුසල් මෙන්ඩිස් 10, තිසර පෙරේරා 07, ලහිරු ගමගේ 03, මිලින්ද සිරිවර්ධන 03, ෂදාබ් ඛාන් 47/3)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්