තෙවැනි එක්දින තරගය අද

  👤  682 readers have read this article !
Published by : MB WEB 2017-10-18 09:46:57

සිරිනාම රාජපක්‍ෂ, අබුඩාබි නුවර සිට..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පෙරේදා පැවැති තරගයේදීද පිතිකරුවන් දැක්වූ දුර්වලතා නිසාම උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වීම හේතුවෙන් මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටීමට පාකිස්තානය සමත් වී ඇති අතර දෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න කියා සිටියේ සිදුවූ වැරැදි නිවැරදි කරගෙන තුන්වැනි තරගයේ සිට යළි තරගාවලියට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන බවයි.

පාකිස්තානය ලබා දුන් ලකුණු 200ක ඉලක්කය හඹායනු ඇතැයි තමාට විශ්වාසයක් තිබූ බවද පැවැසූ තිලකරත්න "තරගාවලිය තවමත් දෙපිලටම විවෘතයි. ශ්‍රී ලංකා පිතිකරුවන් විශේෂයෙන් දඟපන්දු යවන්නන්ට දැක්වූ දුර්වලතාවන් ඉක්මනින්ම සාදා ගත යුතුයි. පා දඟපන්දු යවන ෂදාබ් ඛාන් හොඳින් පන්දු යැව්වා.

අපි පා දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන්නෙ කොහොමද කියල වඩාත් හොඳින් පුහුණු වෙලා ඊළඟ 3 වැනි එක්දින තරගයේදී හොඳ ප්‍රතිඵලයක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද පැවැසීය. තවද දෙවැනි පරාජිත තරගයෙන් පසුව අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහගේ අදහස වූයේ කණ්ඩායමේ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හයදෙනාගෙන් බලාපොරොත්තු වන දේවල් ඉටු නොවීම මෙම පරාජයන්ට ප්‍රධාන හේතුව බවයි.

මෙම ක්‍රීඩාංගණයේදී පැවැති එක් දින තරගවලදී වැඩි ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම් බැවින් දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනුවේ නම් පාකිස්තානය මෙන් තම කණ්ඩායමද පළමුව පන්දුවට පහරදීමට අදහස් කරගෙන සිටි බව කී ගුරුසිංහ ඇසූ පැනයන්ටද පිළිතුරු දෙමින් "මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක ජයග්‍රාහී ඉලක්කයේ ලකුණු සාමාන්‍ය 250ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා ලකුණු 220 හඹායන්න පුළුවන් කියල අපි හිතුවා. අපේ පන්දු යවන්නො ඔවුන්ගේ ඩියුටිය හොඳට කළා. හබැයි පිතිකරුවෝ ඔවුන්ගේ වගකීම ගන්න ඕන" යනුවෙන් කීය.

මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවේද යන පැනයටද පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කළමනාකාරවරයා කියා සිටියේ පුහුණුකරු සහ නායකයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත් 3වැනි එක්දින තරගය අද අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකරමින් අද තරගය සඳහා බොහෝ විට සීක්කුගේ ප්‍රසන්න සහ චාමර කපුගෙදර ක්‍රීඩා කරනු ඇතැයි දැනගන්නට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්