පන්දු යවන්නන්ගෙන්ම යැපෙන්නට ගොස් ශ්‍රී ලංකා පිල වැලිකතරේ අනාථ වෙයි

  👤  1436 readers have read this article !
Published by : MB WEB 2017-10-19 09:39:17

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 151වැනි එක්දින තරගය ලෙස ඊයේ අබුඩාබි හිදී පැවැති මෙවර තරගාවලියේ 3වැනි එක්දින තරගයෙන්ද පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාම ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජයට පත්වූයේ නොකඩවා ලැබූ 10වැනි එක් දින පරාජයද උරුමකර ගනිමිනි. ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 209ක ඉලක්කය හඹා ගිය පාකිස්තානුවෝ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තාකර ගත් අතර වේගපන්දු යවන හසන් අලි තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 34ට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පරාජය වෙත තල්ලු කළේය.

පිළිතුරු ඉනිමට පැමිණි ඊයේ තරගයෙන් තම මංගල එක් දින තරගය සටහන් කළ ඉමාම්-උල්-හක් සමඟ ෆකාර් සමාන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් රැස් කළ අතර කෝඩුකාර හක් ලකුණු 29ක් හා 89ක් ලබා සිටි අවස්ථාවලදී දික්වැල්ල විසින් උඩපන්දු අත්හරින ලද හේතුවෙන් එහි වාසියද ගෙන ඔහු පන්දු 125 දී තම ප්‍රථම එක්දින ශතකය වාර්තා කළේය. කෙසේ වෙතත් ඊට පෙර 17වැනි පන්දු වාරයේදී පන්දු 40කින් ලකුණු 29ක් ලබා සිටි සමාන්, වැන්ඩර්සේගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුකර ගන්නට දික්වැල්ල ක්‍රියා කළ අතර පාකිස්තාන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඉන්සමාම්-උල්-හක්ගේ සොහොයුරාගේ පුත්‍රයකුද වන ඉමාම්-උල්-හක්ට එක්වූ පසු ගිය තරග දෙකේදී ශතක 2ක් ලබා ගත් බාබර් 2වැනි කඩුල්ල වෙනුවෙන් 66ක සබඳතාවක් ගොඩනඟා ලකුණු 30කට දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කිරීමෙන් පසුව මොහොමඩ් හෆීස් යැවූ පළමු පන්දුවාරය හෙවත් ඉනිමේ 9වැනි පන්දුවාරයේ 6වැනි පන්දුවට නායක තරංගගේ පිත්තෙන් එල්ලවූ 5වැනි හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කිසිවකු නොදැවී 50ක් සේ කියැවුණ අතර ඊට තවත් ලකුණු 9ක් එක්වෙද්දී 10වැනි පන්දුවාරයෙන් තම පන්දුයැවීම පටන් ගත් හසන් අලිගේ 5වැනි පන්දුව පිත්තේ වැදී කඩුල්ලේ දැවැටීමෙන් පන්දු 26කට මුහුණ දී සිටි දික්වැල්ල ලකුණු 18කට දැවී ගියේය.

කෙසේ වෙතත් ෂදාබ් ඛාන් යැවූ 20වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී තරංග තම 35වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර 26වැනි පන්දුවාරය යැවූ ෂදාබ් ඛාන් ඉදිරියේ පසුගිය තරගයේ ආකාරයෙන්ම චන්දිමාල් දැවී ගියේය. එනම් ෂදාබ්ගේ ගුග්ලි පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී පන්දු 49කට මුහුණ දී ලකුණු 19ක් ලබා 2වැනි කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යන විට මුළු ලකුණු 102ක් සටහන් වූ අතර ශ්‍රී ලංකා පිලේ ලකුණු 100 වාර්තා වූයේ 25වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීය. චන්දිමාල් ගෙන් පසුව තරංගට එක් වූ චාමර කපුගෙදරට තවත් ලකුණු 10කට වඩා එකතු කිරීමට යළිත් ක්‍රියාත්මක වූ පා දඟපන්දු යවන ෂදාබ් ඉඩදුන්නේ නැත.පන්දු 80කින් ලකුණු 61ක් ලබා සිටි තරංග
ෂදාබ් විසින් දවාගන්නා ලද්දේ ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ෆකාර් සමාන්ට උඩපන්දුවක් ලබා දීමට සැලැස්වීමෙනි.

34වැනි පන්දුවාරයේ 4වැනි පන්දුවේදී මුළු ලකුණු 137ක් වන විට සිව්වැනි කඩුල්ල ලෙස චාමර කපුගෙදරද ලකුණු 18කට දැවී ගියේය. පන්දු 29කට මුහුණ දී සිටියදී කපුගෙදර පන්දු යැවූ හසන් අලි අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගිය පසුව තිරිමාන්නට එක්වූ මිලින්දටද පන්දු 4කට වඩා මුහුණ දීමට ජුනයිඩ් ඛාන් ඉඩදුන්නේ නැත. මිඩ් ඕන්හි පන්දු රකිමින් සිටි සමාන්ගේ අතට උඩපන්දුවක් දීමෙන් ඛාන්ගේ පළමු කඩුල්ල එසේ වාර්තා වූ අතර 6වැනි කඩුල්ල ලෙස වැන්ඩර්සේද හසන් අලි ඉදිරියේ දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යව 141කි. ඉන් පසුව තිරිමාන්නද පන්දු 45කින් ලකුණු 28ක් ලබා සිටියදී සුපුරුද අසාර්ථක බව පෙන්නුම් කළ අතර තිසර පෙරේරා පන්දු 37කදී ලකුණු 38ක් ලබා ගනිමින් දියත් කළ වේගවත් ඉනිම නිසා 9වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැඟීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්