දෙමළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ සිංහල බහුතරයක් සිටින දකුණේයි

  👤  703 readers have read this article !
Published by : MB WEB 2017-11-01 12:27:48

බෞද්ධ දර්ශනය ඉන්දියාවෙන් ලෝකයට පිරිනැමුණු විශිෂ්ටතම පරිත්‍යාගය වන ඉන්දීය ජාතික ධජයෙහි ධර්මචක්‍රය සටහන් වීම අතිශය යෝග්‍ය දර්ශනයකි. අශෝක අධිරාජ්‍යයාගේ අගනුවර සංකේතය වූ සිංහ ලාංඡනය ඉන්දීය රාජ්‍ය ලාංඡනය වශයෙන් අනුගත වන අතර එය ධර්ම චක්‍රයෙන්ද විද්‍යමාන වෙයි.

ඉන්දියාවේ ස්වර්ණමය යුගය මෞර්ය අධිරාජ්‍ය යුගය බවට සැකයක් නොමැති අතර එමෙන් අශෝක අධිරාජ්‍ය යුගයද එසේම වන අතර ඉන්දියාවේ ජාතික සංකේතවලින් එය පුනර්දර්ශනය වන්නේද ඒ නිසාමය. එසේ වුවද ශ්‍රී ලංකාව කවදාවත් මෞර්ය අධිරාජ්‍යයේ කොටසක් නොවූයේය. අශෝක අධිරාජ්‍යයා ඉන්දියාවට මෙන්ම අපටද එක සේ වැදගත්ය. ශ්‍රී ලංකාවට බෞද්ධාගම හඳුන්වා දෙන ලද්දේ අශෝක අධිරාජ්‍යයාගේ යුගයේදීය. එතැන් සිට ශ්‍රී ලංකා ජනගහනයෙන් අති බහුතරයක් බෞද්ධයෝ වූහ.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් සදාතනිකව බැඳ තබන බැම්ම බෞද්ධ දර්ශනයයි. අපගේ පැරැණි පොත්පත්හි "ජම්බුද්වීප" යනුවෙන් හැඳින්වෙන ඉන්දියාව අපට බුදුන් වහන්සේගේ දේශයයි.

නැඟෙනහිර ඉන්දියාවේ බෞද්ධ පූජ්‍යාස්ථාන වන්දනා කිරීම සඳහා ශ්‍රී ලංකා වන්දනාකරුවෝ වසර පුරාම නොකඩවා පැමිණෙති. ජපානය ආදී අෑත රටවල පවා බෞද්ධ දර්ශනය අති සාර්ථක ලෙස ස්ථාපිතව තිබියදී එම දර්ශනය බිහි වූ දේශයෙහි එය පිරිහී ඇතැයි කීම මහා ව්‍යාජෝත්තියකි. අද ඉන්දියාවේ බෞද්ධයන්ගේ සංඛ්‍යාව මුළු ජන ගහනයෙන් සියයට එකක් පමණ වන නමුත් මහාරාෂ්ට්‍රයේ ජනගහනයෙන් සියයට 17ක් බෞද්ධයන් වීම විශේෂත්වයකි. එයද ආචාර්ය අම්බෙඩ්කාර්ගේ එක් උරුමයකි. වියතුන් දක්වන පරිදි, අශෝක අධිරාජ්‍යයාගෙන් පසු මෞර්ය අධිරාජ්‍යය කොටස්වලට කැඩී යෑම, බෞද්ධ පූජ්‍යාස්ථාන කෙරෙහි දැක්වෙන අනුග්‍රහය හීන වීම හා විදේශීය ආක්‍රමණද ඉන්දියාවේ බෞද්ධ දර්ශනයේ පිරිහීමට හේතු වී තිබේ.

ශතවර්ෂ ගණනක් තිස්සේ ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන රටා බෞද්ධ දර්ශනය අනුව හැඩගැස්සීම ගැන ශ්‍රී ලංකාවේ අපි මිහිඳු මහ රහතන් වහන්සේටත් අශෝක අධිරාජ්‍යයාටත් හැම විටම කෘතඥ වෙමු. ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී මුළු ත්‍රිපිටකයම ග්‍රන්ථාරූඪ කිරීමේ ඓතිහාසික අයිතිය මත ශ්‍රී ලංකාව බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. ශ්‍රී ලංකාව, බෞද්ධ දර්ශනය එහි මුල් ස්වරූපයෙන් ආරක්ෂා කරගෙන ඇතැයි විශ්වාස කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ තිබෙන බෞද්ධ ග්‍රන්ථ කෙරෙහි ජාත්‍යන්තර විද්වතුන්ගේ දැඩි අවධානයද යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ විවිධ ජන වර්ග හා නොයෙක් ආගම් පවත්නේ සජීවී යථාර්ථයක් වශයෙනි. කොළඹ නගරයේ වෙසෙන ජනතාවගෙන් බහුතරය රටේ බහුතර ප්‍රජාවට අයත් නොවීමම, සමස්ත ලේකයේම විවිධ ආගම් හා විවිධ ජන වර්ග එක්ව වාසය කිරීම පිළිබඳ යථාර්ථය පෙන්නුම් කරන උදාහරණයකි. ශ්‍රී ලංකාවේ සෑම බෞද්ධ විහාරස්ථානයකම ඇතැම් හින්දු දෙවිවරුන් වෙනුවෙන් සැකැසුණු පූජාසන සැකැසී තිබේ. මහා විෂ්ණු නමැති හින්දු දෙවියා ශ්‍රී ලංකාවේ ආරක්ෂක දෙවිවරුන්ගෙන් කෙනකු සේ පිළිගැනෙයි. අනෙක් සියලු ආගම්, ඇදහිලි හා විශ්වාස ඉවසීම හා ඒවායේ පැවැතීමට ඉඩ සැලැසීමද බෞද්ධ සදාචාරයේ විශේෂත්වයකි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව 1940 ගණන්වලදී නිදහස් රාජ්‍ය බවට පත් වූ විට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආගමික රාජ්‍ය සංකල්පය සම්බන්ධයෙන් නිහඬ විය. අපගේ රටවල් 1970 ගණන්වලදී මාර්ග දෙකක ගමන් ගත්තේය. 1972 දී ශ්‍රී ලංකාව එහි අලුත් ජනරජ ව්‍යවස්ථාවෙහි බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව එය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත් සඳහන් කළේය. එමෙන්ම, අනෙක් ආගමිකයනට ඔවුන්ගේ ආගම් නිදහසේ ඇදහීමේ අවස්ථා සැලසෙන බවද සඳහන් කළේය. එම විධිවිධානය ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවෙහිද අතුළත්ය.

එසේ වුවද ඉන්දියාව 1976 දී අනාගමික මාවත තෝරා ගත්තේය. ඒ අනුව ඉන්දියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සිදු කරන ලද 42 වැනි සංශෝධනයෙන් එරට ස්වෛරී සමාජවාදී අනාගමික ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් බව ප්‍රකාශයට පත් විය.

විවිධ ආගමිකයනට හා විවිධ ජන වර්ගවලට ශ්‍රී ලංකාවෙහි එක්සත්ව වෙසෙන්නට මඟ සැලැසී ඇත්තේ බෞද්ධාගමේ බලපෑමෙනි. වාචාල දේශපාලකයන් මොන විධියේ මත ඉදිරිපත් කළත් තමන්ට ජාතියක් වශයෙන් එක්සත්ව ජීවත් විය හැකි බව හැම පුරවැසියෙක්ම දනී. ගතවූ දශක දෙකක කාලයේදී වැඩි වශයෙන් මහල් නිවාස සංකීර්ණ කොළඹ නගරය තුළ ඉදිවුණේ, රටේ උතුරු නැඟෙනහිර වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීම කරන ලද සටන ඉතා උග්‍ර තත්ත්වයක තිබියදී විදේශගතව සිටි දෙමළ ජනතාව අතිවිශාල මුදල් සම්භාර වැය කරමින් ඒවා ගොඩනැංවූ හෙයිනි. එමෙන්ම මහල් නිවාස මිලට ගත් හෙයිනි. විදේශගතව සිටි දෙමළ ජනතාව පවා කොළඹ නිවාස සංකීර්ණ සඳහා වියදම් කළ තරමට උතුරු නැඟෙනහිර ඉදි කිරීම් සඳහා වියදම් කළේ නැත.

මෙය ඉතාම යහපත් සිතින් කළ කාර්යයක් සේ මම දකිමි. කොළඹ මෙවැනි නිවාස සංකීර්ණ අඩු මිලට ලබාගත හැකි නොවේ. කොළඹ දේපළ මිල ඉතා අධිකය. බහුතර සිංහල බෞද්ධ ජනතාව අතර තමන්ට ජීවත් විය හැකි නොවේ යැයි සිතන කිසිවෙක් මේ සඳහා විශාල මුදල් ප්‍රමාණ වැය කරතැයි සිතිය හැකි නොවේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගෙන් බහුතරය ස්ථිර වශයෙන් ජීවත් වන්නේ රටේ උතුරු-නැඟෙනහිර නොව සිංහල ජනතාව අතරය.

අපගේ ජනතාවට ඒ ශක්තිය ලැබෙන්නේ බෞද්ධ දර්ශනයෙන් ඉගැන්වෙන ඉවසීමේ ගුණය නිසාය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දී තිබෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරතොත් ඊටද, ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් සේ ප්‍රකාශ කරතොත් ඊටද තමන් විරුද්ධ වන බව ගරු මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා ප්‍රකාශ කළ බව වාර්තා වී තිබේ.

දේශපාලන අවශ්‍යතාවලින් මෙහෙයැවෙන සමහර කොටස් මේ සමඟිය විනාශ කරන්නට කොතෙක් උත්සාහ දරන නමුත් එය ස්ථාවරව පවත්නේය. එය ශ්‍රී ලංකාව බෞද්ධ දර්ශනයෙන් ලත් උරුමයයි.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්