පාසලට ගියෙත් බොබ්මාලේ විදියට පුංචි තිරයේ බොබ්මාලේ වූ නාට්‍ය ගුරුවරයා

  👤  2170 readers have read this article !
Published by : MB WEB 2019-01-11 08:38:54

සමන් මේ දවස්වල බොබ්මාලේ විදියට ප්‍රේක්ෂකයෝ අතරට එනවා. ඒ ගැන මුලින්ම කතා කරමු?

තෛ්‍රලෝකා ටෙලි නාට්‍යයෙන් තමයි ඒ විදියට මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. බොබ් මාලේ කියන්නේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව ගීත ලියපු කෙනෙක්. තෛ්‍රලෝකා ටෙලි නාට්‍යයේ බොබ් මාලේ විදියට මම ඇඳුම් ඇන්දට කොණ්ඩේ වැව්වට ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ කෙනෙක් නෙවෙයි. ඒ චරිතයේ මැදිහත්වීම එක්ක ත්‍රීවීල් පාර්ක් එකත් ගමත් වෙනස් වෙනවා.

සමන්ගේ රංගනයන්ට ප්‍රේක්ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ප්‍රතිචාර ඉතාම හොඳයි. පැරිසියට යන පාර නාට්‍ය නිසා මට ගොඩක් අය බුලට් කියන්න ගත්තා. දැන් තෛ්‍රලෝකා නිසා මාලි කියලා තමයි ළමයි පවා කතා කරන්නේ. බොබා කියලත් සමහරු මට කතා කරනවා.

සමන් ගුරුවරයෙක්නේ. බොබ් මාලේගේ චරිතයට හැඩගැහිලා සිටිද්දී කොහොමද ළමයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර?

මම නුගේගොඩ සෙන් ජෝන්ස් විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයා විදියට සේවය කරන්නේ. තෛ්‍රලෝකා ටෙලි නාට්‍යයේ බොබ් මාලේ චරිතය වෙනුවෙන් මට කොණ්ඩේ වවන්න වුණා. මම ඉස්කෝලේ ගියෙත් ඒ කොණ්ඩේ තියාගෙන. ඒක මගේ ෆැෂන් එක නෙවෙයි. ඒත් චරිතය අනුව මම ගොඩනැඟුණා. ළමයි හරි ආදරෙයි ඒ පෙනුමට.

මම කොණ්ඩේ කැපුවට පස්සේ ඉස්කෝලේ කොල්ලෝ තරහා වුණා. විදුහල්පතිතුමාටත්, ගුරු මණ්ඩලයටත් මම ස්තූති කරන්න ඕන මේ වෙලාවේ චරිතාංග නළුවෙක් විදියට කැප වෙන්න ඉඩ හැදුවට.

රංගන භූමිකාව ගුරු භූමිකාවට බාධාවක් නොවෙයිද?

බාධාවක් නොවෙන්න ඒ කාර්යයන් කරන්න පෞරුෂය වැදගත්. මම කරන්නේ මොනවද කියන පසුබිම තේරුම් කළාට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඒ භූමිකා දෙකම සමබරව කරගෙන යනවා.

සමන් කොත්මලේ ඉඳන් කලා ක්ෂේත්‍රයේ ගමන පටන් ගත්තේ කොහොමද?

මගේ ගම කොත්මලේ. මම පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ නළුවෙක් වෙන්න. අපේ ඉස්කෝලේ හය වසරේ ඉඳන් අට වසර වෙනකල් ගණන් ටීචර් කෙනෙක් හිටියේ නෑ. හය වසරේ ඉඳන් එකොළහ වසර වෙනකල් ඉංග්‍රීසි උගන්වන්න කෙනෙක් හිටියේ නැහැ. මම කාඩවෙලා හිටියේ. ඔය කාලේ මගේ මුල්ම නාට්‍ය ගුරුවරයා වුණේ එදිරිසිංහ හුරේගහකුඹුර මහත්මයා.

ඒ කාලේ තරුණ බෞද්ධ නාට්‍ය උළෙලට ඉදිරිපත් වෙලා හොඳම නළුවා ලෙසත් මම නිර්දේශ වෙනවා. ඒ හරහා අත්දැකීම් රාශියක් ලබාගන්නවා. විශ්වවිද්‍යාලයට ඇවිත් ඊට පස්සේ අධ්‍යාපන කටයුතු හමාර කරලා මම ගුරු පත්වීම් ලබනවා. ඒත් මම නාට්‍ය එක්ක තියෙන ගනුදෙනුව දිගටම කරගෙන ගියා. පස්මහ බැලුම් නාට්‍ය 2011දී යෞවන සම්මාන උළෙලේ හොඳම දෙවන නාට්‍ය බවට පත්වෙනවා. 2013දී අජරාමර නාට්‍යයට රාජ්‍ය හා යෞවන සම්මාන උළෙලේ සම්මාන කිහිපයක්ම හිමි වෙනවා.

සමන් පුංචි තිරයට එකතු වෙන්නේ කොතැනින්ද?

මම 2010දී ගිනි අවි සහ ගිනි කෙළි නිර්මාණයට සම්බන්ධ වුණා. ජයලත් මනෝරත්න මහත්මයාගේ ඊළඟට මොකද වෙන්නේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. සිල්ලර කාසි, කූඹියෝ, නිර්භීතයි අපි වගේ නාට්‍ය කිහිපයක මම රංගනයට සම්බන්ධ වුණා.

ජනප්‍රිය මාධ්‍යට එකතු වුණත් තාමත් ඔබ වේදිකාවේ ඉන්නවා?

ඔව්. මම වේදිකාව අමතක කරන්නේ නැහැ. තරිඳු කාවින්ද කරන Open Couple  කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මම කරනවා. රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් එය පෙන්වන්න මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඉදිරියේදී මගේ පාසලේ දරුවන්ගේ නාට්‍ය හතක් නාට්‍ය උළෙලක් ලෙස පෙන්වන්න සූදානමින් ඉන්නවා.

සමන් දකින්න ලැබෙන්නේ වෙනස් විදියේ වැඩවලින්?

ඔව්. ලංකාවේ තරුණයා සිහින ලෝකයක ඉන්නේ. ඒකේ විවිධ පැතිකඩ මම රඟපානවා. මම චරිතාංග නළුවෙක්. එහෙම කෙනෙක්ව මිනිස්සු හඳුනාගන්න ටික කාලයක් යනවා. මාවත් එහෙමයි. ඒත් මට හදිසියක් නෑ. හිමින් සැරේ මගේ ගමන යනවා.

සමන්ට ජනප්‍රියත්වය අවශ්‍ය නැද්ද?

මම ජනප්‍රියත්වය පස්සේ හඹා යන්නේ නැහැ. මම කරන දේ හරියට කරනවා. අපි කරන දේ හරියට කළොත් අපිව කවදා හරි ජනප්‍රිය වෙයි.

චරිතාංග නළුවෙක් කියන තැන තියාගන්න චරිත තෝරනවද?

මම චරිත තෝරන්නේ නැහැ. මට දෙන චරිතයේ යම් දෙයක් එළියට ගන්න මම උත්සාහ කරනවා. මම කැමැතියි ජෝ අබේවික්‍රම කියන රංගන ශිල්පියාට. ඔහු විවිධ චරිත ගොඩනඟලා තිබ්බා. මම මට ලැබෙන චරිතය භාරගෙන උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයකින්ම සමන්ව මුණගැහෙයි නේද?

ඉදිරියේදී තිරගත වෙන්න තියෙන ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ නෙත්තිකුමාරගේ චරිතය මම රඟපානවා. ඒ වගේම නිශාන්ත ශාන්ත දේවගේ 'වූම්' කියන චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.

ඔබ නිරූපණය කරන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

මම ආසයි පෙම්වතෙක්ගේ චරිතය කරන්න. හැබැයි ඒ සීනි බෝල පෙම්වතාගේ චරිතය නම් නෙවෙයි.

දැන් පෞද්ගලික ජීවිතේ පැත්තටත් හැරෙමුකෝ?

අම්මයි, අප්පච්චියි අක්කලා හතර දෙනයි තමයි මට ඉන්නේ. මම පවුලේ බාලයා. තාම නම් තනිකඩ මනුස්සයා.

සමන්ට මතක් කරන්නත් පිරිසක් ඇති?

කලණ, දසුන්, සරත් ඇතුළු මාත් එක්ක රඟපාන සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ වගේම නාරද ධනංජය, චින්තක සෝමකීර්ති, ප්‍රදීප් ධර්මදාස මේ හැමෝම මට තෛ්‍රලෝකා තුළ ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මගේ ගමනට සහයෝගය දුන්න හැමෝටම මම ස්තූති කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූපය - අනුරුද්ධ මැදවත්තේගෙදර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon