පිංපාර 31 කොලනියේ වකුගඩු රෝගීන්ට නළ ජලය නෑ

  👤  1592 readers have read this article !
Published by : MB WEB 2019-01-11 07:03:49

හිඟුරක්ගොඩ - ප්‍රියා

ආර්ථික සංවර්ධන බැංකුව වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන ජල ව්‍යාපෘතියෙන් වකුගඩු රෝගීන් සඳහා ජලය ලබා නොදෙන බව හිඟුරක්ගොඩ පිංපාර තිස් එකේ කොලනියේ වකුගඩු රෝගීහු කියති.

එම ජනතාව පවසා සිටින්නේ. තිස් එකේ කොලනියේ ජනතාව වසර ගණනාවක සිට සෑම යල් කන්නයකදීම උග්‍ර ජල හිඟයකට මුහුණ දෙනවා. ඇළ මාර්ගවල ජලය නිකුත් කිරීම නවතා දැමූ විට ගම්මානයේ සියලුම ළිං හිඳෙනවා. ගමේ ඇති ජල ව්‍යාපෘතියෙන් නියඟයත් සමඟ උතුරු මාර්ගවල පිහිටි නිවාස හිමියන්ට තම දෛනික පරිභෝජනය සඳහා ජලය ලැබෙන්නෙ නෑ. නව ජල ව්‍යාපෘතියක් ආර්ථික සංවර්ධන බැංකුව වකුගඩු රෝගීන් සඳහාම ජල ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නමුත් එම ව්‍යාපෘතියත් ජලය හිඟයකින් තොරව සහ වකුගඩු රෝගීන් නොමැති දිසාව වෙත ජලය ලබාදීම සඳහා බට එළමින් සිටී. වකුගඩු රෝගීන් සිටින මාර්ග වෙත එම ජල ව්‍යාපෘතියත් ආරම්භ කර ඇති නිසා මොන ජල ව්‍යාපෘතිය පැමිණියත් වකුගඩු රෝගීන් හට කිසිදු සහනයක් නොමැත.

එන්.සී. නදීෂා සංජීවනී ඇය වකුගඩු රෝගයෙන් පෙළෙන තැනැත්තියකි. අපේ ගමේ වකුගඩු රෝගීන් දහයකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එම රෝගය වැලඳන්නත් ප්‍රධාන හේතුව තමයි අපිට හරියට බොන්න හොඳ වතුර ටිකක් නැතිකම.

කොහොමහරි දැන් ගමේ වකුගඩු රෝගීන් ගොඩාක් ඉන්නවා. අපට රජයෙන් ලැබෙන මුදලින් අපි දැන් ෆිල්ටර් වතුර ගෙනත් බොනවා. ඒ වුණත් අපට ගෙදර අනෙකුත් වැඩ කටයුතු කිරීමට වතුර නෑ. දැන් ගමේ වකුගඩු රෝගීන්ට අලුතින් ජල ව්‍යාපෘතියක් ගමේ ආරම්භ කරලා තියෙනවා.

දැන් ජලනළ දාගෙන යන්නේ වකුගඩු රෝගීන් ඉන්න ප්‍රදේශවලට නොවේ. රෝගීන් නැති පාරවල්වල. අපි රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගමේ සෑම අතුරු පාරකම මෙම නව ජල ව්‍යාපෘතියේ ජලනළ දමන ලෙස යැයි කීය.

තිස් එකේ කොලනියේ පදිංචි සේන කුමාර පවසා සිටින්නේ.

අපිට ගමේ තියෙන පරණ ජල ව්‍යාපෘතියෙන්ද ඉඩෝර කාලයට වතුර ලැබෙන්නේ නෑ. ඒ මදිවට අලුත් ජල ව්‍යාපෘතිය අපේ ගෙවල්වලට ජලය ගන්න බෑ. ඒකට හේතුව තමයි ඒ ව්‍යාපෘතියත් පරණ එක වාගේම ජලය තිබෙන ගෙවල්වලට තමයි බට දාගෙන යන්නේ. අපි වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජලය තියෙන පාරවලට නොවේ. ජලය නැති වකුගඩු රෝගීන් ඉන්න පාරවලට ජලනළ දැම්මාම ඒ අය වතුර ලබා ගනී. ඒ සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

කේ. නයනානන්ද මෙසේ කීය.

මමත් වකුගඩු රෝගියෙක්. මට වැඩක් පලක් කරන්න බෑ. රජයෙන් දෙන වකුගඩු ආධාර මුදලින් තමයි ජීවත් වෙන්නෙ. ඒක කන්න තියා වතුර බොන්නත් මදි. ඒ මදිවට අපි වෙනුවෙන් කියලා ගමට ජල ව්‍යාපෘතියක් ඇවිත් තියෙනවා. ඒකත් මේ වනවිට කිසිම රෝගයක් නැති හොඳට වතුර තියෙන මිනිස්සු ඉන්න ගෙවල් පාරවල්වලට බට දාගෙන යනවා. අපේ ගෙවල් පැත්තට දාන්නේ නෑ. පුදුම වැඩේ කියන්නේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබා දෙනවායි කියන ජලය දැන් නොලැබෙන්නෙත් අපිටමයි එකයි පුදුම යැයි කීය.

රෝගයක් තියෙන අයට තමයි මුලින්ම සලකන්න ඕනි. නමුත් අපේ ගමේ තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත.

වකුගඩු රෝගීන් වෙනුවෙන් යමක් කරනවා නම් ඒ අය වෙනුවෙන් වෙන්න ඕනි. ඒ අයගේ ජීවිතේ කොයි වෙලේ නැති වෙයිද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ අයට අවශ්‍ය පහසුකම් ලබාදීම අපි කාගෙත් යුතුකමක්. කියන්නේ මුලින්ම වකුගඩු රෝගයෙන් පෙළෙන අය ඉන්න පාරවල්වලට ජලය ලබා දීමට කටයුතු කරලා පස්සේ අනෙක් අයට දුන්නට වරදක් නෑ.

ගමේ මෙවැනි වැඩවලදී ගමේ සියලු දෙනා කොළපාට, නිල්පාට සහ රතුපාට වෙන්න යන්න හොඳ නෑ.

සියලුදෙනාම එකම පක්ෂයක් විය යුතුයි. එකම පක්ෂයක ඉන්න ඕනි. ඒ තමයි ගමේ එකමුතුවේ පක්ෂය එහෙම නැතිව අර පාර්ලිමේන්තුවේ වාගේ කටයුතු කරන්න ගියොත් කිසි දවසක ගමේ දියුණුවක් ලබන්න බෑ යැයි එච්. වසන්ති කීය. අනුරාධපුර ජාතික ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති ඉන්ජිනේරු එම්.එච්.එම්. සිපර් මහතාගෙන් විමසා සිටියා. මේ ගමේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් ගමේ සියලු පාරවල් සිතියම් කළා. නමුත් පාරවල් කීපයක් ඇතුළත් වෙලා නෑ.

ඒ පාරවල්වල පදිංචිකරුවන් අනුරාධපුර අපේ කාර්යාලයට එම මාර්ගවලටත් ජලනළ දමා දෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ලිපියක් ලබාදුන් විගස අපි එම පාරවල්වලටත් ජලනළ දැමීමට කටයුතු කරනවා. ඒ වගේම අදම අපි ජලනළ නොදමන මාර්ග පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් එවනවා යැයි කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon