තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තම්මැන්නා පුරයට හූනියමක්

  👤  2010 readers have read this article !
Published by : MB WEB 2019-01-21 06:58:45

රාජාංගණය - කේ.එම්. චන්දික

තඹුත්තේගම නගරය දියුණු නගරයක් බවට පත් වීමට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයද එක් සාධකයක් විය. තඹුත්තේගම අවට ගම්මානවලින් එළවළු, පලතුරු රැගෙන ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන එළවළු හා පලතුරු වෙළෙන්දන්ද ඔවුන්ට අවශ්‍ය දෑ ලබාගැනීමට දෛනිකව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණේ. සාමාන්‍යයෙන් දෛනිකව ආර්ථික මධ්‍යස්ථානයට දහස් ගණන් පැමිණෙන අතර වාහනද සිය ගණනක් පැමිණේ. අලුයම තුනේ සිට පැමිණෙන වාහන නැවත පිටත්වන විට දහවල් දෙක පමණ වේ. දෛනිකව මෙම මධ්‍යස්ථානයේ වැසිකිළි පාවිච්චි කරන්නන් සංඛ්‍යාවද විශාල වේ. පවතින ආපනශාලාවලින් පිටවන අපද්‍රව්‍යයද බොහෝය. මෙවන් තත්ත්වයක් හමුවේ බැටකන්නේ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පිරිස් හෝ එහි කාර්ය මණ්ඩලය නොවේ. පැත්තක සිටින අහිංසක ජනතාවය.

විශේෂයෙන්ම ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව සිටින්නේ තම්මැන්නාපුර ජනතාවයි. මෙම ගම්මානයට පැමිණීමට නගරයේ සිට ඇති මාර්ගය සමඟි මාවත වේ. ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස ‍ෙදාරටුව මෙම මාර්ගයට යා කොට ඇත. බොහෝ වෙළෙන්දන් පැමිණෙන්නේ මෙම මාර්ගය ඔස්සේය. අලුයම සිට සවස්වන තුරු වාහන නිසා ගම්වාසීහු දැඩි දුෂ්කරකාවන් රැසක් විඳිති. තම පෞද්ගලිකත්වය පසෙකලා කටයුතු කිරීමට මොවුන්ට සිදුවේ. හදිසි කරදරයක් වූ විට ලෙඩෙක් රෝහල්ගත කිරීමට මොවුන්ට නොහැකි වී ඇත්තේ මෙහි ඇති වාහන තදබදය නිසාය. මෙම ගම්වාසීහු දුක් විඳිති. ඒ ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටවන වැසිකිළිවල අපද්‍රව්‍යද ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන නරක් වූ එළවළු, පලතුරු කැබලිද ආපනශාලවලින් පිටවන අපද්‍රව්‍යද ගලායන්නේ මෙම ගම්මානය හරහාය. නිසි කානු පද්ධතියක් නොමැතිකමින් අධික දුර්ගන්ධයක් හමමින් අපද්‍රව්‍ය ගම හරහා ගලායන බවද ඔවුහු පවසති.

මොවුන් විඳින්නා වූ අනේකවිධ දුක් කන්දරාවන් පිළිබඳව සොයා බැලීමට අප ගිය ගමනේදී හමු වූ පිරිසකගේ අදහස් මෙසේය.

ඒ.පී. අශෝක කුමාර මහතා අප සමඟ එක්වෙමින් මෙසේ පැවැසීය.

උදේ ඉඳලා රෑ වෙනකල් මේ පාර අවහිර වෙනවා. මනුස්සයකුට එහෙට මෙහෙට යන්න බැහැ. අපිටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ නිසා අපිට එහෙම එකක් නැහැ. අපේ ගේට්ටු හරස් කරලා තමයි මේ වාහන ගහන්නේ. අපේ කෙනෙක් අසනීප වුණොත් රෝහල්ගත කරන්නවත් බැහැ.

අපි ලෙඩා රෝහලට ගෙනියන්න එළියට යන්නම සෑහෙන කාලයක් ගතවෙනවා. මේ ගමේ පවුල් 25ක් ඉන්නවා. මෙහේ ඉන්නේ වැදගත් මිනිස්සු. රජයේ ඉහළ නිලතල දරන අයත් ඉන්නවා. අපිට මේ මිනිස්සු සලකන විදිය වැරැදියි. ආර්ථික මධ්‍යස්ථානයේ සේරම කුණු අපේ ගම මැදින් යන්නේ. ඒවා ගලාගෙන යන්න කානුවක් නැහැ.

අපි මේ ගැන කළමනාකාරතුමාට කීවා. ඔහු කියන්නේ කරලා දෙන්නම් කියලා. එහෙම කියලා අවුරුදු තුනක් වෙනවා තවමත් එයාගේ පොරොන්දුව ඉෂ්ට කරලා නැහැ. අපි මහවැලිය හරහා පී.එච්.අයි.ට කිව්වම ඒ අය කියන්නේ අපිට සිවිල් නඩු දාගන්නලු. මේක පුදුම කතාවක්නේ. එහෙනම් මොකටද මේවගේ නිලධාරීන් පත්කරලා ඉන්නේ. වැහිකාලෙට ගෙන්න දෙයක් නැහැ. කොළ රොඩු, එළවළු කැළිකසළ, වැසිකිළියේ ජරාව ආපනශාලාවේ ජරාව ඔක්කොම එනවා. ඩෙංගු හැදෙන්න ඉඩකඩ වැඩියි. අපේ ළිංවලට වුණත් මේවා යන්න පුළුවන්. ඒත් කාටවත් මේ සම්බන්ධයෙන් කිසිම වගකීමක් දරනුයේ නැහැ.

නම හෙළිකිරීමට අකැමැති අයෙක් මෙසේ පැවැසීය.

ලොකු ලොකු මුදලාලිලා තමන්ගේ ගේ වටේට බැමි ගහගන්නවා. ඒත් රජයේ සේවකයන් වුණ අපි කොහොමද ඒවා කරන්නේ. අපි අද ලොරි එන එක වළක්වන්න පාර වැහැව්වා. මේ පත්තු කළේ පළමු වෙඩිල්ල. මීට එහා ක්‍රියාමාර්ග ගන්න වෙනවා. අපිට අපේ අනාගත පරපුර රැකගන්න. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් කුමාර මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවැසීය. මට මේ කානු පද්ධතිය සම්පූර්ණයෙන්ම හදන්න සල්ලි නැහැ. අපිට මේක අයිති නැති වුණත් තව ටිකක් දුරට කානුව දාලා දෙන්නම්.

මේ පාරේ සම්පූර්ණ වගකීම තියෙන්නේ තලාව ප්‍රාදේශීය සභාවට. අපි මේ පාරේ වාහන නතර කරන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ ඉඩ මදි හින්දා විතරයි. තලාව ප්‍රාදේශීය සභාවේ තඹුත්තේගම කොට්ඨාස භාර පොදුජන පෙරමුණු මන්ත්‍රි අජන්ත කුමාර ජයසිංහ මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවැසීය.

අපි මේ මිනිස්සුන්ගේ ගම මැදින් යන්න කුණු, කැළිකසළ දාන්නේ නැහැ. සම්පූර්ණ වරද කරන්නේ ආර්ථික මධ්‍යස්ථානය. මේක හැකි ඉක්මනින් නිවැරැදි කරන්න ඕනි. මම ප්‍රාදේශීය ලේකම්තුමියට කතා කළා. එතුමියගේ ප්‍රධානත්වයෙන් ළඟදීම අපි රැස්වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. මම මේ ගමේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon