විශේෂඥ වෛද්‍ය හිඟයෙන් බළන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වැහෙන ලකුණු

  👤  2014 readers have read this article !
Published by : MB WEB 2019-01-21 06:01:56

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

බළන්ගොඩ -
පියසේන එන්. හේවගේ

බළන්ගොඩ මූලික රෝහලෙහි ඇති දැඩිසත්කාර ඒකකයට දැනට සතියක පමණ කාලයක සිට අලුතින් රෝගීන් ඇතුළත් කර නොගන්නා බවට වාර්තා වේ.

මේ හේතුවෙන් දැඩිසත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බව ජනතාව පවසති. මේ වන විට බළන්ගොඩ මූලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකය වැසී යන තත්ත්වයට පත්ව ඇති බව ජනතාව සඳහන් කරති.

බළන්ගොඩ මූලික රෝහල රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඉදිකර ඇත. එහෙත් මේ වන විට බළන්ගොඩ මූලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකය පත්ව ඇති මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පළ කර සිටිති. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක්ම ආවරණය වන පරිදි බළන්ගොඩ මූලික රෝහල ඉදිකර ඇති බව ජනතාව සඳහන් කරති.

බළන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරන රෝගීන් පමණක් නොව ප්‍රදේශයේ ඇති අනෙකුත් රෝහල්වලින්ද මාරු කර එවන රෝගීන් සඳහාද පෙරදී විවෘත වී පැවැතිණි.

මාරතැන්න, රාස්සගගල, මහවලතැන්න, වැලිගෙපොළ, කහවත්ත, ඕපනායක, කල්තොට වැනි ප්‍රාදේශීය රෝහල්වලින් මාරු කර එවන රෝගීන්ද ඇතුළත් කෙරුණේ බළන්ගොඩ මූලික රෝහලට වන අතර එම රෝගීන්ගෙන් දැඩි ජීවිත අවදානමක් ඇති රෝගීන් මීට පෙර මෙහි ඇති මෙම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බවද ජනතාව පෙන්වා දෙති. දැනට සතියක පමණ කාලයක සිට අසාධ්‍ය රෝගීන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර නොගන්නා බව ජනතාව පවසති.

සෞඛ්‍යසම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහා රජය මඟින් විශාල මුදලක් වෙන් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රචාරණයක් ලබා දුන්නද බළන්ගොඩ මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දැනට සතියක පමණ කාලයක සිට ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් කිසිම බලධාරියෙක් මේ වන තෙක් අවධානය යොමු කර නොමැති බවට ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි බී.එම්.සී. දසනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ,
ඇඳන් තුනක් සහිත දැඩිසත්කාර ඒකකය සහ ශල්‍යාගාරය පැය 24ක්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සඳහා නිර්වින්දන පුහුණුවලත් වෛද්‍යවරුන් තමයි යොදවන්න ඕනි. මෙම රෝහලේ දැඩිසත්කාර ඒකකයෙන් ප්‍රශස්ත සේවා තත්ත්වයක් ලබා දීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 8 දෙනෙක් අවශ්‍යයි. ඒත් මේ වන විට වෛද්‍යවරියන් තිදෙනකු දිගුකාලීන නිවාඩු ලබාගෙන තිබෙනවා. එයින් දෙදෙනෙක් දරු ප්‍රසූති නිවාඩු ලබාගෙන සිටිනවා. පවතින විශේෂඥ

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් දැඩිසත්කාර ඒකකය පවත්වාගෙන යෑම මේ වන විට ඉතාම දුෂ්කරයි.

වෛද්‍යවරුන්ගේ පැත්තෙනුත් එය අපහසුයි.

දැනට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති රෝගීන්ට පමණක් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කරනවා. නව රෝගීන් බඳවා ගැනීම අත්හිටුවලයි තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවස්ථා කිහිපයක්ම දැනුම් දී තිබෙනවා. බළන්ගොඩ දැඩිසත්කාර ඒකකය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණවත් තරම් ලබාදුන් පසු එම ඒකකයට අලුත් රෝගීන් ඇතුළත් කර ගන්න පුළුවන්. වෛද්‍යවරු ලැබෙන තුරු මෙම දැඩිසත්කාර ඒකකයට අලුතින් රෝගීන් බඳවා ගැනීමක් කරන්නේ නෑ. මේ තිබෙන තත්ත්වයත් සමඟ අලුතින් රෝගීන් ඇතුළත් කර ගතහොත් රෝගීන් පමණක් නොව සිටින වෛද්‍යවරුනුත් අපහසුතාවට පත් වෙනවා.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බළන්ගොඩ මූලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකය සඳහා සුදුසු වෛද්‍යවරු අලුතින් ලබා දීමක් කළහොත් නැවත අලුතින් රෝගීන් බඳවා ගැනීමට කටයුතු කරන්න පුළුවන් යැයි දසනායක මහතා
වැඩිදුරටත් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon