මඩ ගොහොරු ටෙලි කලාව තුළ තෛ්‍රලෝකා නෙලුම් මලක් වෙයිද?

  👤  1968 readers have read this article !
Published by : MB WEB 2019-02-08 06:17:35

ඔබ වේදිකා නාට්‍ය රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් විදියට හඳුන්වනවටද කැමැති, නැත්නම් ටෙලි නාට්‍ය රචකයෙක් විදියට හඳුන්වනවටද කැමැති?

ඇත්තටම වේදිකා නාට්‍ය කරන්නත් ටෙලි නාට්‍ය ලියන්නත් කලින් මට ළංවෙලා හිටියේ කවිය. ඒ කාලේ දැනෙන සංවේදනාවන් බෙදා හදාගත්තේ කවියක් ලියලා. ඒ සයිබර් අවකාශය තුළ කවිය ජනප්‍රිය වෙන්න කලින් ලොකුම දේ සති අන්ත පත්තරේක කවියක් යවාගන්න එක. එහෙම ලියපු කවි ඒ කාලේ ඉඳහිට පත්තරවල ගියා.

පස්සේ කවිපොත් දෙකක් කළා අසෙනිය කුසුමක් සහ කනකොක්සුද කියලා. කවි ලියන කාලෙත් නාට්‍යවලට ලොකු ඇල්මක් තිබුණා. ජයලාල් රෝහණ සහ ෂෙල්ටන් පයාගල මෙහෙයවපු නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වුණා නළුවෙක් වෙන්න හිතාගෙන. ඒත් කවුරුවත් ඒ කාලේ අපිව රඟපාන්න ගත්තේ නෑ. පස්සේ මමම නාට්‍ය ලියාගෙන රඟපාන්න ගත්තා.

ඒ විදියට පටන්ගත්ත ලියැවිල්ල තමයි මේ තරම් දුරකට ඇවිත් තියෙන්නේ. ඉතින් නාට්‍ය ලියැවිල්ල වේදිකාවෙන් තමයි පටන් ගත්තේ. ඒ විදිහට ලියලා අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතරින් මුලින්ම කතාබහට ලක් වුණේ බොක්ස් නාට්‍ය. ඒ අවුරුද්දෙම ඩයිනෝසර් ප්‍රේමය නාට්‍ය ලිව්වා. ඊට පස්සේ හෙලෝ, බර්මියුඩා, මාරක ළිඳේ සවාරියක් කියන දිගු නාට්‍ය රචනා කරමින් අධ්‍යක්ෂණය කළා. ඒ අතරතුර ටෙලි නාට්‍ය කීපයකුත් ලිව්වා. ඉතින් මාව ඔය මොන කැටගරි එකට දාලා හැඳින්වුවත් මම ඒකට කැමැතියි.

තෛ්‍රලෝකා වගේ වැඩකට අතගැහුවේ ඔබ හදාගෙන හිටපු රාමුවෙන් එළියට පනින්නද?

මම බොක්ස් කියලා නාට්‍යයක් කළාට කිසිම බොක්ස් එකක හිරවෙලා හිටියේ නෑ. ලියන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් ඇති වුණ දවසේ ඉඳන් හැමදේම ලිව්වා. කලින් කිව්වා වගේ කවි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හැමදේම ලිව්වා. හැබැයි බොක්ස් නාට්‍යයෙන් පස්සේ හුඟක් අය මාව දැනගත්තේ අවුට් ඔෆ් බොක්ස් හිතල ලියන කෙනෙක් විදියට. 'බොක්ස්' කළාට පස්සේ තව නාට්‍ය කීපයක් කළා. ඒ අතරින් නැවත කතා බහකට ලක් වුණේ මාරක ළිඳේ සවාරියක් කියන නාට්‍ය. ඔය විදියට වේදිකා ගනුදෙනු කළා මිසක් ටෙලි නාට්‍ය ලියන්න නැවත උනන්දු වුණේ නෑ.

මොකද දැන් ටෙලි නාට්‍ය කෙරෙන විදිහත් එක්ක ආට් කියලා දෙයක් ඉතුරු කරගන්න හරිම අමාරුයි. ඒ අමාරුකම් මැද්දේ මමත් නිලන්තත් එකතුවෙලා දෙයියන්ගේ රටේ කියලා ටෙලි පිටපතක කොටස් පහළොවක් ලියලා තිබ්බා. ජගත් මනුවර්ණ මේක දැකලා ප්‍රදීප් ධර්මදාසට දුන්නා. ප්‍රදීප් ඒ ලියැවිල්ලට කැමැතිවෙලා ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කළා. ඒක කරන අතරතුරේ තමයි ප්‍රදීප් තෛ්‍රලෝකා නාට්‍ය රචනා කරන්න ආරාධනා කළේ. මමත් නිලන්තත් වගේම තවත් දෙන්නෙක් මම මේ නාට්‍ය රචනා කරන්න සම්බන්ධ කරගත්තා. ඒ චානක බණ්ඩාර සහ තනූජා විජේවික්‍රම. අපේ දීර්ඝ සාකච්ඡාවලින් පස්සේ තමයි තෛ්‍රලෝකා කතා සංකල්පයක් විදියට මුලින්ම එළියට එන්නේ.

ඔබ නිර්මාණය කළ වේදිකා නාට්‍ය සෑහෙන කතාබහට ලක්වුණා. තෛ්‍රලෝකා මොනවගේ තැනකින් නතර වෙයිද?

බොක්ස් නාට්‍ය 2010 ජාතික නාට්‍ය උළෙලේ සම්මානනීය ඇගැයීමට ලක් වුණා වගේම සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකාගාරයකට ඇවිත් නාට්‍යයක් නොබලන ප්‍රජාව අතරත් ජනප්‍රිය වුණා. කතා බහට ලක් වුණා. මාරක ළිඳේ සවාරියක් නාට්‍ය 2015දී තමයි කළේ. ඒ නාට්‍ය තවමත් වේදිකා ගතවෙනවා. තෛ්‍රලෝකා ගැනත් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද තවම විකාශනය වුණේ කොටස් කිහිපයයි. ඒ කොටස්වලට ඉහළම ප්‍රතිචාර තියෙනවා.


දෙයියන්ගේ රටේ නාට්‍යයටත් මුලින් හොඳ ප්‍රතිචාර තිබුණා නේද?

ඔව්. මම කිව්වේ මුල් කොටස් පහළොව කලින්ම ලියලා තිබුණෙ කියලා. එතකොට කිසිම කොන්දේසියක් නැතිව තමයි ලියැවුණේ. ඒත් ඒ ටික කරලා විකාශනය වෙන්න පටන් ගත්තට පස්සේ ඉතුරු ටික ලියැවෙන්නෙ දාහක් කොන්දේසි, බාධක, ප්‍රශ්න මැද්දේ. එතැනදී නිෂ්පාදකගේ පැත්තෙන් එයාගේ බැරියර් තමයි මුලින්ම එන්නේ. අධික වියදම් සහිත දර්ශන ඉවත් වෙනවා. කතාවට කොච්චර ආලෝකයක් එකතු වුණත්, තව නළු නිළියන්ගේ දින සම්බන්ධව හිතන්න වෙනවා. නළු නිළියන්ට වෙන හදිසි අනතුරු ස්වාභාවික විපත්වලදී ඒ අය නැතිව කතාව ඉස්සරහට ගෙනියන්න වෙනවා. එහෙම දේවලුත් මේකෙදී වුණා. මේවගේ ප්‍රශ්න සමුදායක් මැද්දේ තමයි දෙයියන්ගේ රටේ පහළොවෙන් පස්සේ කොටස් ටික ලියැවුණේ. එතකොට අර මුල තිබුණු උත්ප්‍රාසය නාට‍ේ‍යා්චිත බව නොදැනීම අතහැරෙනවා.

හොඳ ආරම්භයක් තිබුණු ලාංකේය ටෙලි නාට්‍ය කලාව වෙන තැනකම තල්ලූ වෙලා. ඒකට හේතුව මොකක්ද?

මෙහෙමනේ. ඒක වෙන්නේ ඉස්සර අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ යම් පමණක හෝ විධිමත් අධ්‍යාපනයක් එක්ක. කාලයක් වේදකාවේ වැඩ කරලා. නැත්නම් රංගන ශිල්පීන් විදියට වැඩ කරලා. සහාය අධ්‍යක්ෂවරු විදියට වැඩ කරලා ලබාගන්නා අත්දැකීම් සමුදායක් එක්ක. හැබැයි මේක බිස්නස් එකක් වුණාට පස්සේ තත්ත්වේ වෙනස් වෙනවා. එතකොට අධ්‍යක්ෂ පුටුවට එන්නේ නිෂ්පාදකයෝ. නැත්නම් නිෂ්පාදකවරයා අධ්‍යක්ෂවරයාට වඩා මේ දුරාවලියේ ඉහළ පුටුවක ඉඳගන්නවා. ඊට පස්සේ නිෂ්පාදක බලන්නේ එදා දවසේ ඉන්න නළු නිළියන්ගෙන් වැඩිපුරම සීන් ප්‍රමාණයක් රූගත කරගන්න. බජට් වැඩි නම් ඒ සීන් කපන්න දෙසැරයක් හිතන්නේ නෑ. මෙහෙම අතළොස්සක් මැද්දේ රචකයාට අධ්‍යක්ෂවරයාට පූර්ණ නිදහස දෙන නිෂ්පාදකවරුත් ඉන්නවා. ඒ නිර්මාණ මේ මඩ ගොහොරුවේ නෙලුම් මල් වගේ ලස්සනට පිපෙනවා.

ගයන්ත වනසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon