ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ලංකාවෙන් හතරක් අර්ධ අවසන් පූර්ව වටයට

  👤  2259 readers have read this article !
Published by : MB WEB 2017-09-15 11:35:41

විචිත්‍ර වීරසිංහ

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශුරතාවලියේදී අවුරුදු 60 පිරිමි වයස් කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ආර්නල්ඩ් ඩෙන්ඩෙන් සමත්ව සිටී.

ඒ අනුව එම වයස් කාණ්ඩයේ පළමු වටයේදී ලබාගත් නිතරග ජයත් සමඟින් දෙවැනි වටයට පිවිස තිබූ ආර්නල්ඩ් එම වටයේදී එංගලන්තයේ රිචඩ් ට්‍රැවිස් 21-09ක් හා 21-07ක් ලෙස පරාජය කරමින් තෙවැනි වටයට පිවිස තිබූ අතර, තෙවැනි වටයේදී රුසියාවේ යුරී සිමොව් 21-15ක් හා 21-18ක් ලෙස පරාජයට පත්කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේදී ආර්නල්ඩ් ඕස්ටි්‍රයාවේ තාරික් ෆාරූක් සමඟ තරග වැදීමට නියමිතව ඇත.
මේ අතර අවුරුදු 45 වයස් කාණ්ඩය යටතේ පිරිමි යුගල තරගාවලියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ ලක්‍ෂ්මන් හෝමර් හා උපේන්ද්‍ර පෙරේරාද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමද කැපී පෙනුණි.

එහිදී ඔවුන් දෙපොළ පළමු වටයේදී ඉන්දුනීසියාවේ ජොහාන් කයාදි හා ලී විජය 21-18කින් හා 21-07ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයටද, දෙවැනි වටයේදී තායිලන්තයේ වටානා අම්පුන්සුවන් හා නාරු හුම් 21-11ක් හා 21-13ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන් දෙදෙනා ඉන්දියාවේ ශ්‍රීකාන්ත් බක්සි හා නව්දීප් සිං සමඟින් තරග වැදීමට නියමිතය. තරගාවලිය 17 වැනිදා දක්වා පැවැත්වේ.
මෙයට පෙර අවුරුදු 50 පිරිමි වයස් කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නිරෝෂන් විජේකෝන් සමත් වූ අතර, එම අවසන් පූර්ව වටයේ තරගය අද පැවැත්වීමට නියමිතව ඇත.

එසේම අවුරුදු 65 පිරිමි වයස් කාණ්ඩයෙන් තරග වැදුණු එෆ්. මයිනාකි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර අවුරුදු 50 පිරිමි වයස් කාණ්ඩ යුගල තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ආර්නල්ඩ් හා නිරෝෂන් විජේකෝන් සමත්ව සිටීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon