අසාර්ථක නම් ආපසු එන්න කියන්නෙ ඇයි?

  👤  2130 readers have read this article !
Published by : MB WEB 2017-09-18 10:17:04

හර්ෂණී අර්සකුලරත්න

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ වර්ජනය අසාර්ථක බව අමාත්‍යවරයා පවසන්නේ නම් සේවයට වාර්තා කරන ලෙස දන්වන්නේ ඇයිද යන්නයි.

වහාම සේවයට වාර්තා කරන ලෙස ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ නීති විරෝධී බවත්, ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වර්ජනයේ නිරතවීමට ලංවිම සේවකයන්ට අයිතිය තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

වර්ජනය සම්බන්ධයෙන් පසුගිය 14දා සිදුකළ සාකච්ඡාවද අසාර්ථක වූ බවත් ඉල්ලීම් ලබාදෙන තෙක් අඛණ්ඩව වර්ජනය ඉදිරියටම ගෙන යන බවත් සඳහන් කළේය.

ලංගම වෘත්තීය සමිතිවල ඉල්ලීම් කෙරෙහි අමාත්‍යාංශය නම්‍යශීලී නොවන්නේ නම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විදුලි පාරිභෝගිකයන් හා එක්වී වටලන බව රන්ජන් ජයලාල් මහතා පැවැසීය.

දින පහක් තිස්සේ වැඩවර්ජනයේ නියැළෙන වෘත්තීය සමිති ඉල්ලීම් විසඳීමට විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට සැබෑ අවශ්‍යතාවක් නොමැති බවත් ඔවුන්ම කොන්ත්‍රාත්කරුවන් යොදා විදුලි සැපයුමට බාධා එල්ලකොට ඒවායේ වරද වෘත්තීය සමිති පිට පැටවීමට කටයුතු යොදන බවත් හෙතෙම පැවැසීය.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය වැඩි කරගත් නීතිවිරෝධී වැටුප් වැඩි කරගැනීම පිළිබඳ අමාත්‍යාංශය ගන්නා පැලැස්තර විසඳුම් වෙනුවට නිසි සාධාරණ පිළියම් යොදන තුරු මෙම වැඩවර්ජනය අත්නොහරින බවද පාරිභෝගිකයන් අඳුරේ තැබීමේ අවශ්‍යතාවක් වෘත්තීය සමිති කිසිවකට නැති බවද ඔහු පැවැසීය.

පාරිභෝගිකයන් පත්වන අපහසුතා සියල්ලේම වගකීම වෘත්තීය සමිති ඉල්ලීම්වලට කන්නොදෙන ඇමැතිවරයා ඇතුළු පාලන අධිකාරිය භාරගත යුතු බවද හෙතෙම පැවැසීය.

මේ අතර පවතින විදුලි බිඳවැටීම් යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා යුද හමුදා භටයන් දෙදහසකට (2000) අධික පිරිසක් රටපුරා යොදවා ඇතැයිද විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon