සයිමන් විල්ස්ගේ පත්වීම ගැන මාලිංගගෙන් දෝස්මුරයක්

  👤  2008 readers have read this article !
Published by : MB WEB 2017-09-18 13:21:46

පසුගියදා පැවැති ක්‍රිකට් වැඩමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන ඉහළ කාර්ය සාධන කළමනාකරු සයිමන් විල්ස්ගේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කළේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන එම වැඩමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ තම අදහස් පළ කළ මාලිංග තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීමේ ක්‍රමවේදයන් සහ ඊට අදාළ වැඩසටහන් සැලැසුම් කිරීමේ ප්‍රධාන අංශය භාරදී ඇති එංගලන්ත ජාතික සයිමන් විල්ස් එවැනි තනතුරකට සුදුසු පුදගලයකු දැයි ප්‍රශ්නාර්ථයක් ඇති බවය.

ජාතික මට්ටමේ ක්‍රීඩකයකු ජාත්‍යන්තර මට්ටමට ගෙනයෑමේ කර්තව්‍යය මෙවන් පුද්ගලයකුට භාරදීමෙන් බලාපොරොත්තු ප්‍රතිඵල අත්කර ගත හැකිදැයි එහිදී ප්‍රශ්න කළ මාලිංග "මම දකින විදියට අපේ ඉහළ කාර්ය සාධන කළමනාකරු තනතුර භාරදීපු පුද්ගලයා ක්‍රීඩා කරල තියෙන්නෙ පළමු පෙළ තරග 16 කදී ඉනිම 21ක් පමණයි. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ එකම ශතකයක්වත් වාර්තා කරල නැහැ. මීට වඩා සුදුසු පුද්ගලයෙක් අපේ රටෙන්ම සොයා ගන්න තිබුණා" යනුවෙන් පැවැසීය.

සයිමන් විල්ස් මහතා පසුගිය වසරේ ජූනි මස 1දා සිට ඉහළ කාර්ය සාධන කළමනාකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ අතර පළමු පෙළ ක්‍රිකට් තරග 16ක් සඳහා එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කළ විල්ස් ඉන්පසුව 2009 වසරේදී කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ කාර්ය සාධන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. තවද පුදුම සහගත කරුණ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මොහොතක එනම් පසුගිය ඉන්දීය සංචාරයේ 2 වැනි එක්දින තරගයට පසු දිනම (අගෝස්තු 25දා) ඔහු නිවාඩු දමා එංගලන්තය බලා පිටත්ව යෑමය.

කෙසේ වෙතත් එදින වැඩමුළුවේදී ක්‍රීඩාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වමින් අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු යම් අවස්ථාවක කණ්ඩායමෙන් පිටතට ගිය විට ජාතික පුහුණුකරුවන්ගේ පුහුණුව නොකඩවා ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොදීම එම ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක් බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon