චාමරට වසර 2ක තරග තහනමක් තීරණයට එරෙහිව අභියාචනයක්

  👤  1857 readers have read this article !
Published by : MB WEB 2017-09-18 11:37:50

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය ක්‍රීඩා සමාජය අතර පැවැති ක්‍රිකට් තරගයකදී තරග පාවාදීමක් සිදු වූයේ යැයි කියන චෝදනා විමර්ශනය කිරීමේදී එකී පානදුර හා කළුතර ජී. සී. සී. යන ක්‍රීඩා සමාජ දෙකම විෂමාචාරය සහ ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනිව කටයුතු කර ඇති බවට තීරණය කර ඇති බැවින් එම ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයන් වන චාමර සිල්වාට සහ මනෝජ් දේශප්‍රිය යන අය හට වසර 2ක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවන ලද තරග තහනමට අනුව ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය යන කටයුතුවලට වසර 2ක කාලයක් නිමා වනතුරු ඔවුන් දෙදෙනාට සම්බන්ධ විය නොහැකි බවද මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

එම නිවේදනයට අනුව චෝදනාවට තුඩු දුන් එකී තරගය සහ ප්‍රතිඵලය බල ශූන්‍ය කිරීමටත්, එකී ක්‍රීඩා සමාජවලින් තරග ගාස්තු අයකර ගැනීමට සහ රුපියල් පනස් දහසක් බැගින් දඩ නියම කිරීමටත්් තීරණය කර ඇත.

තවද අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් හට වසර 1ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමටද ක්‍රිකට් විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති අතර මේ පිළිබඳ "මව්බිම" කළ විමසීමකදී පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් මහතා කියා සිටියේ පැවැති පරීක්ෂණ අනුව එහිදී කිසිදු මුදලකට තරග පාවාදීමක් සිදුවී නොමැති බවත් ක්‍රීඩාවේ මහත්මා ගුණය සහ ජීවගුණය පවත්වා ගැනීම සඳහා මෙවන් දඬුවමක් පැනවූ බවත්ය. මතිවානන් මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ ක්‍රීඩා සමාජ වෙත තහනමක් පැනවීමට තීරණය නොකළේ එසේ කළේ නම් එම ප්‍රදේශවල අවශේෂ ක්‍රීඩකයන්ටද අසාධාරණයක් සිදුවන නිසා බවයි.

මේ අතර පනවා ඇති තහනමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදාළ ක්‍රීඩකයන් කටයුතු කරමින් සිටින බවද "මව්බිම"ට වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon