කේට් තුන්වැනි වරටත් මවක් වෙන්න සූදානම් රජ මෙහෙසියක් වෙන ලකුණත් පහළ වෙයි

  👤  2101 readers have read this article !
Published by : MB WEB 2017-09-18 15:24:50

විලියම් කුමරුගෙ දයාබර බිරිය වන කේට් කුමරිය අවුරුදු 5ක් තුළ තුන්වැනි වරටත් රාජකීය බිලිඳකු බිහි කරන්න සූදානම් වන බවට කට කතා පැතිර ගියා. ඉන්පස්සේ චාල්ස්ට කලින් විලියම් කුමරුට ඔටුන්න දීමට රැජන සැලසුම් කොට ඇති නිසා කේට් කුමරියට ඉතා ඉක්මනින්ම රාජ මෙහෙසිය වීමේ අවස්ථාව හිමිවන බවටත් කටකතා පැතිර ගියා. දැන් ඒ පුවත් දෙකම එකට පැතිර යන්න පටන් අරගෙන.

පසුගිය සතියේ සුප්‍රකට ""Life & Style"" සඟරාව සඳහන් කොට තිබූ අන්දමට චාල්ස් සහ කැමිලා කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යමින් පවතින නිසා එංගලන්ත රජ කිරුළ රැකගත හැක්කේ විලියම් හා කේට්ට පමණක් යැයි මහ රැජන විශ්වාස කරනවාලු. එබැවින් ඊළඟ රජුවීමේ වැඩි වාසිය ඇත්තේ චාල්ස්ට වඩා විලියම්ට බව බොහෝ දෙනා පවසනවා.

මේ කතාබහ කරළියට පැමිණීම සිදුවූයේ පසුගිය අගෝස්තුවේ පැවැති ඩයනා කුමරියගෙ 20 වැනි අනුස්මරණයත් සමඟයි.

චාල්ස් කුමරුගේ කීර්තිය අඩුවීමට පටන් ගත්තේ ඔහු ඩයනා කුමරිය දික්කසාද කිරීමත් සමඟයි. කාලයත් සමඟ එම අප්‍රසාදය දුරුවී යාවි යැයි අපේක්ෂා කළත් සිදුවූයේ එය තව තවත් ඉහළ යෑමයි. චාල්ස්, කැමිලාව විවාහ කර ගැනීමත් සමඟ ඒ අප්‍රසාදය කිහිප ගුණයකින් ඉහළ ගියා.

Life & Style සඟරාව සඳහන් කොට ඇති අන්දමට තම මරණින් පසු වැඩිමල් පුතා වන චාල්ස්ට රජකම නොපවරා එය විලියම් වෙත පැවරීමට එළිසබත් මහ රැජන ආන්දෝලනාත්මක තීරණයක් ගෙන තිබෙනවා. නමුත් චාල්ස් ඊට කැමැත්තක් දක්වා නැහැ. රජකම, තමන් මුළු දිවිය පුරාම බලා සිටි දෙයක් බව, වතාවක් ඔහු ප්‍රකාශ කොට තිබෙනවා.

මේ අතර කේට් කුමරිය නැවත වරක් ගැබ්ගෙන ඇති බවට සියලු ලක්ෂණ පහළ වෙන බව රජ මාලිගයේ ඇතුළතින්ද ආරංචි වූ බව සඟරාව සඳහන් කොට තිබුණා. ඇගේ සමීපතම යෙහළියක් සඳහන් කරන අන්දමට කේට් රෝහල් ගතකොට මේ පිළිබඳව තහවුරු වන වාර්තා පවා ගෙන තිබෙනවා.

කෙසේ වුවත් මේ කටකතා කොතරම් දුරට සත්‍යදැයි සැක පහළ කරගත යුත්තේ මීට පෙරත් "Life & Style" සඟරාව පස් වතාවක්ම, කේට් ගැබ්ගත් බවට කතා පැතිරුව නිසා බව සමහරු පවසනවා.

ගැමා ගවුඩර්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon