නාමල්ගේ නඩුව දිගටම ගෙන යන්න අවසර

  👤  1957 readers have read this article !
Published by : MB WEB 2017-09-19 10:02:22

කේ.එස්. උදය කුමාර්

නීති විරෝධී ලෙස උපයාගත් මුදල් යොදා ගනිමින් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක රුපියල් මිලියන 30ක් වටිනා කොටස් මිලදී ගත්තේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 03 දෙනකු නොමැතිව එම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණය ඊයේ (18දා) නීතිපතිවරයාට අවසර ලබා දුන්නේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන අය අධිකරණය මඟහැර විදේශයකට පලා ගොස් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට මීට පෙර වාර්තා කර තිබිණි.

ඊට අමතරව නඩුවේ 06 වන විත්තිකරු ලෙස නම් කර සිටින ගවර්ස් කෝපරේට් සමාගම වෙනුවෙන් කිසිදු නියෝජිතයකු එම නඩුව සඳහා ඉදිරිපත් වූයේ නැත. මේ හේතුවෙන් අදාළ විත්තිකරුවන් තුන්දෙනා නොමැතිව නඩුව පවත්වා ගෙන යෑමට අවසර දෙන මෙන් නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ පැවැති මූලික සාක්කි විභාගයකින් පසුව එම විත්තිකරුවන් තුන්දෙනා නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වැනිදාට කල් තැබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon